ෂින්සෝ අබේ ඝාතනය ගැන ජපාන පොලීසියෙන් අනාවරණයක්

ෂින්සෝ අබේ ඝාතනය ගැන ජපාන පොලීසියෙන් අනාවරණයක්

July 11, 2022   11:58 am

හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේ පසුගිය සිකුරාදා වෙඩි තබා ඝාතනය කෙරුණේ දකුණු දිග නාරා නගරයේදීය.

අගමැතිවරයාගේ ආරක්ෂාව යොදවා තිබූ ආකාරයේ ගැටලුසහගත තත්ත්වයක් තිබී ඇති බව ජපාන පොලීසිය පිළිගෙන තිබේ.

අබේ අගමැතිවරයා යම් නිශ්චිත ආගමික කණ්ඩායමක සාමාජිකයෙකු බව තමන් විශ්වාස කරන බවත්, අදාළ ආගමික කල්ලිය හේතුවෙන් තම මව දරුණු ආර්ථික කඩාවැටීමකට මුහුණපෑ බැවින් මෙසේ හිටපු අගමැතිවරයා ඝාතනය කළ බවත් සැකකාර ටෙට්සුයා යමගාමී පවසා තිබුණි.

කෙසේ වෙතත් සිදුවූයේ කුමක්ද යන්න නිශ්චිතව සොයාගැනීමට තවමත් හැකිවී නොමැති බව, ජපාන පොලිස් ප්‍රධානියා පැවසුවේය.

මේ අතර ඝාතනයට ලක්වූ හිටපු අගමැතිවරයාගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු හෙට (12) පැවැත්වීමට නියමිතය.

එමෙන්ම ඊට සමගාමී අවසන් ගෞරව දැක්වීමේ මෙහෙයක් අද පැවැත්වේ.

ආසියාවේ නිල සංචාරයක නියුතු අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් ද ඊට එක්වීම සඳහා ජපානය වෙත පැමිණියේය.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි ඔපෙරා රඟහල පසුගියදා මෙලෙස ආලෝක ගන්වා තිබුණේ ෂින්සෝ අබේ හිටපු අගමැතිවරයාට ගෞරව දැක්වීම පිණිසය.

මේ අතර ජපාන උත්තර මන්ත්‍රී මණ්ඩල මැතිවරණය සති අන්තයේදී පැවැත්වුණි.

එහි පෙරමුණ ගෙන ඇත්තේ ෂින්සෝ අබේ අගමැතිවරයාගේද සහාය හිමිවූ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි.