අගමැතිගේ නිවසට ගිනි තබන අවස්ථාවේ විදුලිය විසන්ධි වීම ගැන විමර්ශනයක්

අගමැතිගේ නිවසට ගිනි තබන අවස්ථාවේ විදුලිය විසන්ධි වීම ගැන විමර්ශනයක්

July 10, 2022   12:54 pm

අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනිගැනීම සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, ඊයේ (09) පස්වරු 6න් පසු කොළඹ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීමක් සිදුකිරීමට සැලසුම් කර නොතිබු අතර මෙම විදුලි විසන්ධි වීම ගැටලු සහගත බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනක රත්නායක මහතා,

"අපි තීරණය කර තිබුණේ ඊයේ තත්ත්වය නිසා සවස 6න් පසුව විදුලිය විසන්ධි නොකිරීමට. ඒ උනත් අපිට දැනගන්න ලැබුණා තත්ත්වය ඇති වුණ වෙලාවේ දී ප්‍රදේශයේ විදුලිය විසන්ධිවීමක් සිදුව තිබෙනවා කියලා. එය සිදුවුයේ කෙසේ ද කියලා අපි බලනවා. මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද කියලා බලාගන්න දැනට ස්ථානීය පරීක්ෂණයක් තව පැය කිහිපයකින් මහජන උපයෝගීතා කොමිසම සහ විදුලිබල මණ්ඩලය විසින් කරනු ලබනවා. අපිට දැනට තියෙන තොරතුරු අනුව තේරෙන්නේ විදුලිය විසන්ධි කිරීමක් ඊයේ සවස 6න් පස්සේ සිදුකරන්නේ නෑ කියලා සඳහන් කරලා තියෙන අවස්ථාවක විදුලිය විසන්ධි වුණේ කොහොම ද? ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. සිදුවීම ගැන අපි තොරතුරු හොයලා පසුව දැනුම්දෙන්නම්."

මේ අතර රාත්‍රී කාලයේදී කිසියම් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ඇතුළු වන ආකාරය දක්නට ලැබුණි. 

පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි ගැනීමකට ලක්වේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, නිවස අසල පැය කිහිපයක් තිස්සේ පැවැති විරෝධතාවලින් අනතුරුව ගිනි ගැනීම සිදුව ඇති බවය. 

පොත් විශාල සංඛ්‍යාවක පුස්තකාලයකින් සමන්විත වූ මෙම නිවස අග්‍රාමාත්‍යවරයා විසින් කොළඹ රාජකීය විද්‍යාලය වෙත සම්පූර්ණයෙන් පරිත්‍යාග කර තිබුණි.

එවන් පසුබිමක අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඇතුළත තිබූ භාණ්ඩ රැසකට හානි කර තිබූ අයුරු දක්නට ලැබුණි.

මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ගල්කිස්ස, කඩවත සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේය.