රඹුක්කන සිද්ධියට පොලීසිය ගොනුකළ පෙත්සම් විභාගයට

රඹුක්කන සිද්ධියට පොලීසිය ගොනුකළ පෙත්සම් විභාගයට

June 30, 2022   01:03 pm

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනගාර ගත කිරිමට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් ජූලි මස 12 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

කෑගල්ල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ඇතුළු ඇතුළු  සිව්දෙනෙකු ගොණුකළ අදාල පෙත්සම් අද කැඳවූ අවස්ථාවේ ඒවාට අදාළ විරෝධතා තිබේනම් ඒවා ජූලි මස 08 වනදා ගොනු කරන ලෙස අධිකරණය වගඋත්තරකාර පාර්ශවයට නියම කර ඇත.

මෙම පෙත්සමේ අඩංගු අතුරු ඉල්ලීමට අදාළ කරුණු දැක්වීම අද ආරම්භ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා පැවසුවේ මෙම නඩුවේ පෙත්සම්කරුවන් විසින් තමන්ව ඇපමත මුදාහරින ලෙස ඉල්ලා කෑගල්ල මහාධිකරණය හමුවේ ඇප පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර ඒවා ලබන 07 වනදා කැඳවීමට නියමිතව බවය. 

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එබැවින් මෙම රිට් පෙත්සම් ඉන් පසුව එළඹෙන දිනයක කැඳවන ලෙසය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර පොලිස් නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබෙන මෙම රිට් පෙත්සම් ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා තමන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.