හෙට තරගයේ තණතීරුව ගැන ඔත්තු බැලූ පුද්ගලයා හසුවෙයි

හෙට තරගයේ තණතීරුව ගැන ඔත්තු බැලූ පුද්ගලයා හසුවෙයි

June 28, 2022   09:18 pm

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගයට දිනක් තිබියදී තණතීරුව සම්බන්ධයෙන් තොරතුරු සෙවූ පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වී තිබේ. 

දෙරට අතර ටෙස්ට් තරගාවලියට පෙර සංචාරක මඟ පෙන්වන්නෙකු විසින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කළමනාකරුගෙන් එලෙස තණතීරුව සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ඇතැයි වාර්තා විය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා,

"අපිට තොරතුරක් ලැබුණා.. ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුවේ තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාගන්න යම් පුද්ගලයෙක් ක්‍රීඩාංගණයට ගිය බවට. ගාල්ල ක්‍රීඩාංගණය භාර කළමනාකරු එය සනාථ කළා."

"ඒ අනුව අපි ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඒ බව විමසපු පුද්ගලයා කවුද කියලා අපි විමර්ශනය කළා." 

"ගාල්ල ප්‍රදේශයේ පදිංචි සංචාරක මඟ පෙන්වන්නෙක්ව අපි අඳුන ගත්තා. ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා." 

"ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අපිට කරුණු අනාවරණය වුණා අපේ රටට කිට්ටු රටක පුද්ගලයෙක් තමයි මොහුගෙන් ඒ පිළිබඳව විමසලා තියෙන්නේ කියලා."

"ඔහු මීට කලින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා සංචාරය සඳහා."  

"ඒ අනුව අපි ICC එකට තොරතුරු දැනුම්දීලා තියෙනවා. ඊට අමතරව අපි ජාත්‍යන්තර පොලීසියෙන් සහාය ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා."

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගය හෙට උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට එරෙහිව හෙට (29) ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන සිව්වන තරගාවලියයි.

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 31ක් පවත්වා ඇති අතර ඉන් තරග 19ක් ඔස්ට්‍රේලියාව ජය ගනිද්දී ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 4ක් පමණි.

කෙසේවෙතත් හෙට තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව මෙතෙක් ක්‍රීඩාකළ ටෙස්ට් තරග 37න් 21ක්ම ජයගෙන තිබේ. 

අවසන් වරට ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම 2016දී ශ්‍රී ලංකාවට පැමිණි අතර එම තරගාවලිය තරග 3 ට 0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණි.

2004 වසරේ සුනාමි ව්‍යයසනයේදී විනාශයට පත්වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ විපතට පත්වූවන් වෙනුවෙන් ඉදිරිපත් වූ  ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවෙන් හෙට ආරම්භවන තරගයේදී උපහාර පිදීම ද විශේෂත්වයකි.