කෝපා කමිටුවට ආ එතනෝල් ප්‍රශ්නය

කෝපා කමිටුවට ආ එතනෝල් ප්‍රශ්නය

June 16, 2022   01:35 pm

මෙරටට එතනෝල් ආනයනය කරන සමාගම් පිළිබඳ හා ඔවුන් විසින් ගෙන්වන ලබන එතනෝල් ප්‍රමාණය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස දැනුම්දී තිබේ.

මෙරට භාවිතය සඳහා ආනයනය කරන එතනෝල් ප්‍රමාණය පිළිබඳව සහ  ආනයනය කරනු ලබන ආයතන පිළිබඳව නිසි පරිදි නියාමනයක් සිදුනොවීම පිළිබඳව  පසුගියදා (08) වනදා පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානයට ලක්විය.

එහිදී අදාළ වාර්තාව දෙසතියක් තුළ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තු නිලධාරින් වෙත ලබාදෙන ලෙස දන්වා තිබේ.

එමෙන්ම, මත්පැන් නිෂ්පාදනය හැරුණු විට ඖෂධ ඇතුළු වෙනත් නිෂ්පාදන සඳහා එතනෝල් ආනයනය කර ඇති ප්‍රමාණය සහ නිසි පරිදි එම එතනෝල් එකී නිෂ්පාදන සඳහා පමණක් භාවිත කරන්නේද යන්න පිළිබඳවද අවධානය යොමු කරන ලෙස මෙහිදී අවධාරණය කර ඇත.

තවද, ශ්‍රී  ලංකාවට වාහන සහ වාහන අමතර කොටස් ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව කාරක සභාව විසින් විමසා සිටි අතර, ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මින් පෙරද උපදෙස් ලබා දී තිබුණද, ඊට අදාළ ක්‍රියාමාර්ග ගෙන නොතිබීම පිළිබඳව කාරක සභාවේ අප්‍රසාදය පළ වුණි.

මීට අමතරව ඊට අදාළ කටයුතු සකස් කර වඩා කාර්යක්ෂම හා විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට සුදුසු ක්‍රමවේදයක් සකසා මාස 04 කාලයක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටියේය.

මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභාවට මන්ත්‍රීවරුන් වන ලසන්ත අලගියවන්න, තිස්ස අත්තනායක, දුමින්ද දිසානායක, උදය ගම්මන්පිල, සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ, මොහොමඩ් මුසම්මිල්, නිරෝෂන් පෙරේරා, අශෝක් අබේසිංහ, හේෂා විතානගේ, සිවඥානම් ශ්‍රිතරන්, වීරසුමන වීරසිංහ, රංජිත් බණ්ඩාර, බී.වයි.ජී  රත්නසේකර, උපුල් ගලප්පත්ති යන මහත්ම මහත්මීන් හා රාජ්‍ය නිලධාරින්ද සහභාගි වූහ.