ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට සැරසෙයි

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට සැරසෙයි

June 15, 2022   03:15 pm

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීම ට ඉල්ලීමක් කර ඇති බව එම සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි මාස 4කට මෙරටට ප්‍රමාණවත් ගෑස් තොගයක් සැපයීමට අදාළ ගෑස් සැපයුම්කරුවන් සූදානමින් පසුවෙන බවය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ කොළඹ ලිට්‍රෝ ප්‍රධාන කාර්යාලයේදී සිය ධුරයේ වැඩභාර ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

"අපි මේ වනවිට මෙට්‍රික් ටොන් 3,900කට ආසන්න ගෑස් තොගයක් නෞකාවෙන් ගොඩබාමින් තිබෙනවා. මේක ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඒකෙන් මේ තිබෙන විශාල අර්බුදය විසඳන්න බැරි වෙයි." 

"විශේෂම කාරණය තමයි මේ නෞකාවෙන් පස්සේ තවත් එකම නෞකාවක්වත් සැලසුම් කරලා නැහැ. වගකීම් විරහිත තත්ත්වයකින් කටයුතු කරපු බවක් තමයි මට පේන්නේ." 

"අඩුම තරමින් නෞකා ගොඩබානකොට හරි සල්ලි දෙන්නම් කියලා සැපයුම්කරුවෝ කිහිපදෙනෙකුට කතා කරලා දින වකවානුවත් දැනගෙන නැහැ. මහ මුහුද විතරයි මට පේන්නේ."

"මේක අමාරුයි කියල දැනගෙනම මම වගකීම ගන්නේ රට වෙනුවෙන් මටත් යම් දෙයක් කරන්න වගකීමත් තියෙන නිසා. හොඳ ශක්තිමත් සැලසුමක් තිබෙනවා නම් ගෑස් අර්බුදය විසඳන්න අපිට පුළුවන්."

"මම දැන් මෙතන මොනවා කිව්වත් මාසයක් දෙකක් යනකොට ගෑස් අර්බුදය ගැන ජනතාවට දැනෙන වෙනසක් සිදුවුණේ නැත්තම් ඒනෙක් වැඩක් නැහැ. ඒ නිසා මම කියනදේට වඩා කරලා පෙන්වන්න පුළුවන් නම් තමයි හොඳ."

"ලිට්‍රෝ ගෑස් එකයි ලාෆ්ස් ගෑස් එකයි අතර විශාල මිල පරතරයක් තිබෙනවා. ඔවුනුත් මේ වෙළෙඳපොළ තුළ 20%ක සැපයුමක් සිදුකරනවා."

"ඔවුන්ගේ මිල වැඩිවීමත් සමග අපිට වැඩිය ඔවුන්ට යම් මූල්‍ය ශක්තියක් ලබාගන්න පුළුවන් වෙලා තිබෙනවා. නමුත් ඔවුන්ටත් ඔවුන්ට ආවේණික ප්‍රශ්න ඇති."

"තායිලන්තයේ ගෑස් සැපයුම් ආයතනයකට තමයි දීර්ඝ කාලීන ගිවිසුම දෙන්න යෝජනා වෙලා තිබුණේ. ඒ වෙලාවේ ඒ අය ඩොලර් 96ක් හෝ 98ක වගේ මුදලක් තමයි සඳහන් කරලා තිබුණේ."

"ඒ නිසාම රජය තීරණය කරලා තිබුණා ඒ අයත් එක්ක මේක කරන්න ඕනේ කියලා." 

"ඒ වේලාවේ ඒ සමාගම දීර්ඝ කාලීන ණයවර ලිපියක් ඉල්ලලා හිටියා. ඒක දීගන්න ලිට්‍රෝ සමාගමටවත් රජයටවත් ඒ වෙලාවේ මූල්‍ය ශක්තිය තිබුණේ නැහැ. ඒ කොන්දේසිය ලිහිල් කරලා මේ ගනුදෙනුව කරගෙන යන්න ලිට්‍රෝ සමාගම අවස්ථා කිහිපයකදීම ඉල්ලලා තිබුණා."  

"ඒ වෙලාවේ වර්තමාන සැපයුම්කරුවා ඉදිරිපත් කරලා තිබුණ මිල ඩොලර් 129ක් වගේ." 

"මේ අතරේ ලිට්‍රෝ සමාගම තීරණය කරලා තිබුණා කෙටි කාලීනව මෙම සමාගම් දෙකටම (තායිලන්ත ගෑස් සමාගස සහ ඕමාන් ගෑස් සමාගම) ගෑස් සැපයීමට අවස්ථාව දෙන්න. මේ ගෑස් අර්බුදය විසඳෙනකම්." 

"ඒ වෙලාවේ මිල කැඳවීම් කරලා සසඳලා බලනකොට තායිලන්ත සමාගම එවලා තිබෙන මිල ගණන ඩොලර් 112ක්. ඕමාන් වර්තමාන ගෑස් සැපයුම්කරු එවලා තිබුණු මිල ඩොලර් 129ක්." 

"තායිලන්ත ගෑස් සමාගම දීලා තිබෙන මිල මෙට්‍රික් ටොන් 6,000කට පමණයි." 

"ඕමාන ගෑස් සමාගම දීලා තියෙන්නේ මාස 4ටම ගෑස් දෙන්නම් කියලා ඩොලර් 129ට ටොන් ලක්ෂයක් අපි අවමය ගන්න ඕනේ කියලා."

"එයාලගේ ප්‍රධාන නෞකාව මාලදිවයිනේ නවත්තගෙන එතන ඉඳලා ලංකාවට ප්‍රවාහනට කරලා දෙන්නම් කියලා තියෙනවා." 

"මෙතන ප්‍රශ්නය, අඩු මිලක් තිබෙන සමාගම ටොන් 6,000කට පමණක් එම මිල දීමයි. එතකොට ඒක කොහෙත්ම ප්‍රමාණවත් නෑ කියන තීරණය ගන්න ඇති රජය."

"ඒ නිසා රටේ තිබෙන ගෑස් අර්බුදය විසඳන්න මිල වැඩි වුණත් ඕමාන් ගෑස් සමාගමත් එක්ක යන්න කියලා කැබිනට් එක තීරණය අරගෙන තිබුණා."

"ඒ අනුව මිල වැඩි වුණත් ටොන් ලක්ෂයක් අරගෙන මේ රටේ ගෑස් අර්බුදය විසඳන්න කියන තීරණය කැබිනට් මණ්ඩලය අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න ලිට්‍රෝ සමාගමට දීලා තියෙනවා." 

"ලිට්‍රෝ ගෑස් සමාගමේ දැන් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,860යි. සියලු කාරණා එක්ක අපි මිල වැඩිකිරීමක් ඉල්ලලා බලධාරීන්ට යොමු කරලා තිබෙනවා ලිපියක්. ඒකෙනුත් රුපියල් 200ක් වගේ මුදලක් තමයි අපි ඉල්ලලා තිබෙන්නේ."