ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීම අද සිට

ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීම අද සිට

June 15, 2022   07:39 am

මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියට අදාළව ඡන්ද ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම අද (15) දිනයේ සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එම ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම ජූලි මස 12 වන දින දක්වා සිදුකෙරෙනු ඇති බව එම කොමිසම සඳහන් කළේය.

එමෙන්ම ඡන්ද හිමි නාමලේඛනයෙන් ඉවත් වන සහ ඇතුළත් වන නම් ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම අද සිට ජුලි මස 12 වන දින දක්වා සිදුකෙරෙනු ඇත.

එමෙන්ම හිමිකම් ඉල්ලීම් සහ විරෝධතා ඉදිරිපත් කිරීම ද මෙම කාලසීමාව තුළ සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් එසේත් නොමැතිනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත පැමිණ ඒ සම්බන්ධයෙන් විමසීම් කරන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට දැනුම්දෙයි.

කෙසේවෙතත් ඡන්ද නාමලේඛන සහතික කිරීම එළඹෙන ඔක්තෝබර් මස 31 වැනිදා සිදුකිරීමට නියමිතව තිබේ.