යුක්‍රේනය ධාන්‍ය අපනයනය යළි අරඹයි

යුක්‍රේනය ධාන්‍ය අපනයනය යළි අරඹයි

June 14, 2022   01:03 pm

රුසියානු ආක්‍රමණය හමුවේ ඇනහිට තිබූ ධාන්‍ය අපනයනය යළි ආරම්භ කරන බව යුක්‍රේනය පවසයි.

ගෝලීය ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානම වළක්වා ගැනීම එහි අරමුණ බව වාර්තා වෙයි.

මෙහිදී පෝලන්තය සහ රුමේනියාව ඔස්සේ අපනයන කටයුතු සිදුකිරීමට ඔවුන් අපේක්ෂා කරයි.

නමුත් ඉහත මාර්ග ඔස්සේ දැනටමත් ධාන්‍ය අපනයන කටයුතු ආරම්භ කර ඇත්ද යන්න හෝ කොපමණ ධාන්‍ය තොගයක් මේ ඔස්සේ අපනයනය කිරීමට අපේක්ෂා කරන්නේද යන්න යුක්‍රේන බලධාරීන් අනාවරණය කර නොමැත.

රුසියා-යුක්‍රේන අර්බුදය හමුවේ ගෝලීය ධාන්‍ය සැපයුම බෙහෙවින් අඩාල වී තිබුණි.

ඒ සමග ගෝලීය ආහාර අර්බුදයක් පිළිබඳවත් පාර්ශව රැසකින් අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

ලොව සිව්වැනියට විශාලම ධාන්‍ය අපනයනකරුවා වන්නේ යුක්‍රේනයයි.

එරටින් අපනයනය කිරීමට අපේක්ෂා කරන ධාන්‍ය ටොන් මිලියන 30ක් පමණ සිය පාලනය යටතේ පවතින දේශසීමාවේ ඇති බව යුක්‍රේන බලධාරීන් පවසයි.

මහාමාර්ග, ගංගා හෝ දුම්රිය මාර්ග ඔස්සේ ඒවා වෙනත් රටවල් වෙත අපනයනය කිරීමට සැලසුම කර තිබේ.

එමෙන්ම බෝල්ටික් රටවල් ඔස්සේ සිය ධාන්‍ය තොග අපනයනය කිරීම සඳහා කොරිඩෝවක් ලබාගැනීමට සාකච්ඡා සිදුකරමින් සිටින බව ද යුක්‍රේන බලධාරීන් වැඩිදුරටත් පවසයි.