අපොස සා.පෙළ අද ඇරඹෙයි

අපොස සා.පෙළ අද ඇරඹෙයි

May 23, 2022   06:40 am

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23) දිවයින පුරා මධ්‍යස්ථාන 3,844කදී ආරම්භ වේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් පන්ලක්ෂ 17,496 දෙනෙකු පෙනී සිටින අතර ඉන් 407,129 දෙනෙකු පාසල් අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

110,367 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් දිවයින පුරා ස්ථාපිත කර තිබේ.

අද දිනයේ ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස පළමුවනදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඉන්ධන ගෑස් සහ ආර්ථික අර්බුද හමුවේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය පවත්වනු ලබන අතර මෙහි මුලික කටයුතු දැනට සති කිහිපයක සිට පියවරෙන් පියවර ක්‍රියාත්මක කිරිමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

විශේෂයෙන් විභාග රාජකාරි කටයුතුවල නිරත නිලධාරීන් සඳහා ප්‍රමුඛතාව අනුව ඉන්ධන ලබාදීමට පියවර ගැනුණු අතර රාජකාරි කටයුතුවල නිරත නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

එමෙන්ම විභාග අපේක්ෂකයින් ප්‍රවාහනය කරනු ලබන රථවාහන සඳහා ද ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරන ලෙස රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ හැකිතාක් උදෑසනින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සියලු අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් ද සිදුකළේය.

මේ අතර විභාගයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා,

"සියලුම විභාගයට පෙනී සිටින සිසුන්ගේ ආරක්ෂාව සඳහා උත්තර පත්‍ර ඒවගේම ප්‍රශ්න පත්‍ර ආරක්ෂාව සඳහා පොලීසිය අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර තියෙනවා. මෙම අපොස සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 3,844ක මෙවර පැවැත්වෙනවා. දිවයින පුරා පිහිටි සෑම මධ්‍යස්ථානයකටම අවශ්‍ය ආරක්ෂාව පොලීසිය විසින් මේ වනවිට සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා. පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් ආරක්ෂාව සඳහා ලබාදෙනවා මෙම මධ්‍යස්ථානවලට. විභාග දෙපාර්තමේන්තුවේ පොලිස් මුරපොළක් ස්ථාපිත කරලා තියෙනවා. ඔවුන් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරනවා."