ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ට ලැබුණු දඬුවම

ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ට ලැබුණු දඬුවම

June 28, 2021   02:42 pm

එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර ඊයේ (27) රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව දැඩි තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් ට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමටත් එම ක්‍රීඩකයින් ව වහාම නැවත මෙරටට කැඳවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පැවසීය.

කණ්ඩායමේ කළමනාකරු විසින් ඉදිරිපත් කළ මූලික වාර්තාවක් පදනම් කරගෙන ක්‍රීඩකයින් ව නැවත ගෙන්වීමට තීරණය කළ බව එම නිවේදනයේ දැක්වේ.

"එම සිද්ධිය පිළිබඳ ව පරීක්ෂණ නිමවෙන තෙක් එම ක්‍රීඩකයින් තිදෙනාට සියලු ක්‍රිකට් තාවකාලික තහනම් කිරීමට තීරණය කළා," යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරාගෙන් මාර්ගගත මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසු විට ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් කථා කිරීමට අකමැති බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.