ස්ථානමාරුව බලරහිත කිරීමට නියෝගයක් ඉල්ලා හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට

ස්ථානමාරුව බලරහිත කිරීමට නියෝගයක් ඉල්ලා හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට

May 10, 2021   08:02 pm

නීතියට පටහැනි අයුරින් සිදුකළ සිය ස්ථාන මාරුව බලරහිත කරන ලෙස ඉල්ලා මාවතගම හිටපු පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිල සේනාධීර මහතා විසින් පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

එම  පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති චන්දන.වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති එම්. එන්. සිසිර කුමාර ,  කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ. ජේ. වයි. බී. ක්‍රිෂාන්ත ඇතුළු පිරිසක් නම්කර ඇත.

අත්තනෝමතික ලෙස තමන්ට වාරියපොළ පොලිසියේ ස්ථානාධිපති වශයෙන් ස්ථාන මාරුවක් ලබාදීම හේතුවෙන් සිය වෘත්තීය ගෞරුත්වයට සහ කීර්තිනාමයට හානි සිදුවී ඇති බවත් ඉන් තම වෘත්තීය දියුණුවට බාධාවක් වී ඇති බවත් පෙත්සම්කරු කියා සිටී.

තමා ඉතා සංකීර්ණ අපරාධ විමර්ශනයන්ට සහභාගී වී ඇති බවත් ඉතා භයානක අපරාධකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇති බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

මෙම අත්තනෝමතික ස්ථානමාරුව තුළින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශකරන ලෙසත්, මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින පෙත්සම්කරු, තම ස්ථානමාරුව අවලංගුකිරීමට වගඋත්තරකරුවන්ට නියෝගකරන ලෙස ද  අධිකරණයෙන් ඉල්ලා තිබේ.