හදිසියේ රට වසා දැමීමට තීරණයක් ගෙන නෑ -යුද හමුදාපති
May 10, 2021 05:28 pm
රට සම්පුර්ණයෙන්ම වසාදැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ පළාත් අතර සංචරණ සීමා පැනවීමක් සිදුවිය හැකි බව යුද හමුදාපතිවරයා පැවසීය.
විශේෂයෙන්ම බස්නාහිර පළාත සහ පිට පළාත් අතර භාණ්ඩ ප්‍රවාහනය සහ අත්‍යවශ්‍ය සේවා සපයන්නන්ට හැර අනෙකුත් පුද්ගලයන්ට ඇතුළුවීම සහ පිටවීමට අදාළ සිමා පැනවීමට ඉදිරි දින කිහිපයේ දි පියවර ගනු ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
එසේම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදිගැනීමේ අරමුණින් වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල්වල එක්රැස්වීමෙන් වළකින ලෙස ද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
“අද දෙරණ“ට අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“රටේ ඇතිවෙන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන රටේ ජනතාව විවිධ ප්‍රදේශවලට ගමන් කරන ආකාරය සලකා බලා මේ අවස්ථාවේ ඉදිරියේදී බොහෝදුරට බස්නාහිර පළාතෙන් පිටවීම, ඇතුළුවීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන එන සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන අය සහ ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතුළු අත්‍යවශ්‍යම අය හැරුණු කොට අනෙකුත් අය සඳහා සංචරණ සීමා සීමාවන් ඉදිරි දින කිහිපයේදී පැනවීමට හැකියාවක් තියෙනවා.
විශේෂයෙන්ම, තමුන් බඩුබාහිරාදි ලබා ගන්නා කඩවල කාලසීමාවන් යම්කිසි ආකාරයෙන් දීර්ඝ කිරීමක් තුළින් රටේ ජනතාවට ඕනෑම අවස්ථාවක ගොස් කඩයක එක්රොක් නොවී බඩුබාහිරාදිය ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් ඉදිරියේදී ඇති කිරීමට උපදෙස් මාලාවක් නිකුත් කිරීමට නියමිතයි.
විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අනවශ්‍ය හේතූන් මත දිස්ත්‍රික්ක අතර ගමන් කිරීමෙන් වළකින්න. කොවිඩ් මේ අවස්ථාවේ පැතිර යන බැවින් පළාතකින් පළාතකට මෙය පැතිරීමට තිබෙන අවදානම අවම කිරීම සඳහා මෙවැනි පියවර ඉදිරි දින කිහිපයේදී ගැනීමට නියමිතව තිබෙනවා.“