සයුරෙන් එතෙර
මින් අන්ග් හලින්ග් - මියන්මාරයේ හමුදා පාලකයා
February 2, 2021 04:07 pm
මියන්මාර හමුදාවේ ඡ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයා වන "මින් අන්ග් හලින්ග්" ඊයේ (01) හමුදා කුමන්ත්‍රණයකින් එරට බලය අල්ලාගත්තේය.
ඒ මියන්මාරයේ නිල නොලත් පාලකයා ලෙස සැලකුණු අවුන් සාන් සුකී සහ ජනාධිපති තාන් ශ්වේ අත්අඩංගුවට ගැනීමෙනි.
1962 සිට 2011 දක්වා හමුදා පාලනය යටතේ පැවති මියන්මාරය නැවත වසර 10කට පසුව හමුදා පාලනයකට නතුවීම ගැන අමෙරිකාව ඇතුළු ලොව බලවත් රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය බලවත් විරෝධය එල්ල කර තිබේ.
මින් අන්ග් හලින්ග් මේ වනවිට මියන්මාරයේ සිටින ප්‍රබලතම හමුදා නිලධාරියා වේ. මියන්මාර හමුදාව "ටැට්මඩා" යන නමින්ද හඳුන්වයි.
ඔහු දශකයක් පුරා එරට හමුදා ප්‍රධානියා බැවින් ඔහුට සැලකිය යුතු දේශපාලන බලයක්ද හිමිව තිබේ.
මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වෙමින් පැවතිය ද හමුදාවේ බලපෑම් අඩුවීමට "මින් අන්ග්" ඉඩ නොදුනි.
සුළු ජාතික සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඔහු ජාත්‍යන්තර ප්‍රජාවගේ විරෝධයට ලක්වී සිටින්නෙකි.
64 හැවිරිදි ජෙනරාල්වරයා හමුදාවට එක්වී ඇත්තේ කැඩෙට් නිලධාරියෙක් ලෙසිනි.
යැන්ගොන් විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යයෙක් වන ඔහු ආරක්ෂක සේවා විද්‍යයතනයට 1974දී එක්වී ඇත්තේ තෙවැනි උත්සහයේ දීය.
පාබල හමුදාවේ සාමාජිකයෙක් වූ "මින් අන්ග්" ක්‍රමානුකූලව හමුදාව තුළ ඉහළට ගොස් 2009 වසරේදී "විශේෂ ක්‍රියාන්විත කාර්යාංශය-2" නම් හමුදා ඒකකයේ අණදෙන නිලධාරියා ලෙස උසස්වීමක් ලැබීය.
2010 වසරේදී මියන්මාර හමුදාවේ "කාර්ය මණ්ඩල ප්‍රධානියා" ලෙස පත්වීම් ලැබූ ඔහු 2011 වසරේදී එරට හමුදා ප්‍රධානියා බවට පත්වීම් ලැබීය.
