BBCයට එරෙහි අපහාස නඩුවේ තීන්දුව
January 12, 2021 07:42 pm
දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා විසින් තමා සම්බන්ධයෙන් කරන ලද අපහාසයක් යළි ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් BBCයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොනුකර තිබූ නඩුව අද විත්තිකරුවන්ගේ වාසියට ප්‍රකාශයට පත්කෙරුණි.
තමාට අපහාස වන අයුරින් කරුණු ප්‍රචාරය කළ බවට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් ටී.එන්.එල් ආයතනයට එරෙහිව 2011 වසරේදී කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළේය.
ඒ, 2011 වසරේ ජුනි සහ ඔක්තෝබර් මාස වලදී TNL මාධ්‍ය ජාලය ඔස්සේ පළකළ කරුණු කිහිපයක් සම්බන්ධවයෙනි.
එම නඩුවේ කරුණු සලකා බලමින් 2011 වසරේ නොවැම්බර් 15 වනදා දිසා විනිසුරුවරයා විසින් TNL ආයතනයට එරෙහිව වාරණ නියෝගක් නිකුත් කරනු ලැබීය.
යළි එම නීති කෘත්‍ය කැඳවූ 2013 වසරේ ජනවාරි 18 වනදා කොළඹ දිසා අධිකරණය TNL ආයතනයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
එම නියෝගය නිකුත් කළේ නඩු විභාගය අවසානයේදී නඩුව පැමිණිලිකරුට ජයගත හැකි බවට කරුණු ඇති බව අධිකරණයේ නිගමනය බව පවසමිනි.
එම වාරණ නියෝගයේ වූයේ පැමිණිලිකාර පාර්ශ්වයට අපහාස වන පරිදි කිසිදු කරුණක් එම නීති කෘත්‍ය අවසන් වනතුරු ප්‍රචාරය නොකළ යුතු බවටය.
එම නියෝගයෙන් පසු TNL ආයතනයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා පැමිණිලිකාර පාර්ශ්වයෙන් කළ ඉල්ලීම් සහ ප්‍රසිද්ධියේ මේ පිළිබඳ කණගාටුව පළකිරීමට එකඟ වීමේ පදනම මත 2015 වසරේ මෙම නඩුව පැමිණිලි පාර්ශ්වය විසින් ඉල්ලා අස්කර ගනු ලැබීය.
එහිදී විත්තිකාර පාර්ශවය, පහත කරුණු ඔස්සේ සිය කණගාටුව ප්‍රකාශ කර සිටියේය.
1.“වර්ෂ 2011 ජුනි 11 දින සහ එම වසරේම ඔක්තෝබර් 20, 21, 27 දිනයන්හි උදෑසන TNL ඉසිර ගුවන්විදුලියේ විකාශය වු ‘දස දෙසින් පුවත් සිරස්තල‘ වැඩසටහන මගින් දිලිත් ජයවීර මහතා සම්බන්ධව වෙනත් කරුණු අතර කොටස් වෙළෙඳපොළ හා ඊට අදාළ ආයෝජන අළලා කෙරුණු ප්‍රකාශයක් මගින් ඔහුගේ හා ඔහුට හිමි ආයතනයන්ගේ කීර්තිනාමයන්ට හානි වු බව සඳහන් කරමින් කොළඹ දිස්ත්‍රික් උසාවියේ අපහාස පිළිබඳ DMR 4136/12 අංකිතව නඩුවක් ගොනු කර තිබිණි. ඊට අදාළව ඔහු විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට කරන ලද කරුණු පැහැදිලි කිරීම තුළින් පසුව තහවුරු වු කරුණු අනුව අප නාලිකාවේ ඉහත වැඩසටහන් මගින් කෙරුණු යම් යම් ප්‍රකාශයන් ඔස්සේ ඔහුට සිදුවු සිත් තැවුල හා කීර්ති නාමයට සිදුවු හානිය ද එම ආයතනයන්හි කීර්ති නාමයන්ට සිදුවු හානිය පිළිබඳව ද කණගාටු වන බව ප්‍රකාශ කරමු.“
2.එකී ඉහත සඳහන් ප්‍රකාශය එම සමස්ථ දින සිට සති දෙකක් ඇතුළත තුන්වන විත්තිකාර සමාගමේ ඉසිර ගුවන්විදුලියේ ‘රට යන අත‘ වැඩසටහන තුළින් විකාශනය කිරීමට ද ඉහත විත්තිකරුවන් එකඟ වේ.
3.ඉහත සමථය හේතුකොටගෙන පැමිණිකරු විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට එකඟ වේ.
4.පාර්ශවකරුවන් විසින් සිය ගාස්තු තම තමන් විසින්ම දරා ගනී.
එවන් පසුබිමක පැමිණිලිකාර පාර්ශ්වය 2012 වසරේදී BBC සේවයට එරෙහිව නඩුවක් ගොනු කළේ TNL ආයතනයේ ප්‍රචාරයන් යළිත් BBCය ප්‍රචාරය කිරීම හා එහි වෙබ් අඩවියේ පළකිරීම පදනම් කර ගනිමිනි.
වසර කිහිපයක් තිස්සේ සලකා බැලුණු නීති කෘත්‍ය පිළිබඳ අවසන් තීන්දුව අද ලබා දුන්නේය.
ඒ අනුව BBCයට එරෙහිව පැමිණිලිකාර දිලිත් ජයවීර මහතා විසින් ගොනුකර තිබූ නඩුවේ තීන්දුව අද විත්තිකාරුගේ වාසියට ප්‍රකාශයට පත්කර තිබුණි.
එහිදී තීන්දුවේ අන්තර්ගතය වූයේ TNL ආයතනය කරන ලද ප්‍රකාශය BBC මගින් යළි ප්‍රචාරය කිරීම මාධ්‍ය ආයතනය සතු ජනතාවට තොරතුරු ලබාදීමේ සීමාව තුළ පවතින්නක් බවය.
