දෙවෙනි යුද අධිකරණයේ විනිසුරු සටහන් මහාධිකරණය හමුවට

March 9, 2011   05:25 pm

හයි කෝප් මූල්‍ය වංචාවට අදාළව දෙවෙනි යුද අධිකරණයේ විනිසුරුවන් විසින් තබන ලද සටහන් වල සියලු වාර්තා මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද(09)කොළඹ මහාධිකරණය විසින් යුද හමුදාපතිවරයාට නියෝග කර තිබේ.

හයිකෝප් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි නඩුව අද(09)කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය කරන ලද බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

හයිකෝප් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් දෙවෙනි යුද අධිකරණය මගින් චෝදනා සනාථ කර දඬුවම් පමුණුවා ඇති හෙයින් ඒ හා සමාන චෝදනා වලට යළි මහාධිකරණය හමුවේ නඩු විභාගයක් පැවත්වීමට නීතිමය හැකියාවක් නොමැති බව මෙහිදී විත්තියේ නීතිඥයින් විසින් පෙන්වා දී තිබේ.

මේ පිළිබඳ දෙපාර්ශවයේම නීතිඥවරුන් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළ අතර මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අවසාන වශයෙන් නියෝග කර සිටියේ දෙවෙනි යුද අධිකරණය මගින් තබන ලද වාර්තා ලබන 29 දා කැඳවන ලෙසයි.

මෙහිදී රජයේ නිතිඥයා කරුණු දක්වමින් මෙම නඩුවේ වරද පිළිගෙන දඬුවම් ලැබූ විලින්ටන්ඩේවුඩ් නැමැත්තා මෙම නඩුවේ 49 වන සාක්ෂිකරු ලෙස නම්කිරිමට අවසර ලබා දෙන මහාධිකරණයෙන් ඉල්ලා ඇත.

එහෙත් ඊට විත්තියේ නීතිඥයින් දැඩි සේ විරෝධයා පළ කළ බවද දෙ දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කරයි.

ඒ පිළිබඳ වැඩිදුර සලකා බැලීම ද ලබන 29 දින සිදුකරන බව මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ වැඩිදුරටත් නියෝග කර තිබේ.