මහර ගැටුම - මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයට බහුවිද විද්වත් කමිටුවක්

මහර ගැටුම - මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයට බහුවිද විද්වත් කමිටුවක්

December 8, 2020   08:09 pm

මහර බන්ධනාගාරයේ කළහකාරී සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ බහුවිද විද්වත් කමිටුවක් මගින් සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අද (08) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අදාළ නීතී කෘත්‍ය අද පස්වරුවේ මෝසමක් මගින් කැඳවූ අවස්ථාවේදීය.

පසුගියදා මහර බන්ධනාගරයේ ඇතිවූ සිද්ධියට අදාළ නීතී කෘත්‍ය කැඳවීමට නියමිතව තිබුණේ මේ මස 11 වනදා වුවද පැමිණිලි පාර්ශ්වය ඉදිරිපත්කළ මෝසමකට අනුව අදාළ නීති කෘත්‍ය අද පස්වරුවේ වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය අධිකරණය හමුවේ පෙනී සිටියේ මෙම නීති කෘත්‍ය ඉදිරියට ගෙනයාම සඳහා රජයේ නීතීඥවරයෙකුගේ සහය ලබාදෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සිදුකර තිබූ ඉල්ලීමකට අනුවය.

මේ වනවිට රාගම රෝහලේ තැන්පත් කර ඇති මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේ සිරුරු අතරින් 08කට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර නිරෝධායන නීති අනුව කටයුතු කරන්නේ නම් එම සිරුරු ආදාහනය කළ යුතුව ඇති බව රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මෙහිදී අධිකරණයට පෙන්වා දුන්නාය.

එසේවුවද මෙම මළ සිරුරු සියල්ල සම්බන්ධයෙන් සාධාරණ මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු කළ ඉල්ලීමට ඉඩ ලබාදෙමින් එම මළසිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම සඳහා බහුවිද විද්වත් මණ්ඩලයකට අවසර ලබාදෙන ලෙස රජයේ නීතීඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ වනවිටත් එම බහුවිද විද්වත් මණ්ඩලයට පත්කළ යුතු රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙක් නම් කර ඇති බවත් රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙම මණ්ඩලයට පත්කිරීම සඳහා ගිනි අවි විශේෂඥයෙක්ගේ නමක් යෝජනා කර ඇති බවත් රජයේ නීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය අධිකරණයට දැනුම් දුන්නාය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ බහුවිද විද්වත් මණ්ඩලයක් හරහා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් නොමැති වුවත් විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් මෙම කමිටුවට ඇතුළත් විය යුතු බවය.

එම ඉල්ලීමට රජයේ නීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය විරෝධය පළකරමින් පැවසුවේ බහුවිද විද්වත් මණ්ඩලය සඳහා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් නම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නෛතික හැකියාවක් නොමැති බවය.

අනතුරුව මෙම බහුවිද විද්වත් මණ්ඩලයට වොහාරික විද්‍යායතනයේ වෛද්‍යවරයෙක් නම්කිරීමට දෙපාර්ශ්වයේම එකඟතාවය ලැබුණු අතර හෙට දිනයේදී විද්වත් මණ්ඩලයේ සියලු සාමාජිකයින්ගේ නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය දැනුම් දුනි.

ඒ අනුව, මෙම නීතී කෘත්‍ය හෙට යළි කැඳවීමට නියමිතය.