විදෙස් රැකියා අපේක්ෂකයින්ට දැනුම්දීමක්

විදෙස් රැකියා අපේක්ෂකයින්ට දැනුම්දීමක්

December 1, 2020   01:09 pm

පෝලන්තයේ රැකියා ලබාගත හැකි බවට වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කර, රැකියා අපේක්ෂිතයන්ගෙන් වංචනිකව මුදල් ලබාගැනිමේ ජාවාරමක් හෙළිවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. 

ශ්‍රී ලංකාවේ ව්‍යාජ රැකියා නියෝජිත ආයතන විසින් මෙම ජාවාරම සිදුකරන බවට කරුණු හෙළි වී තිබෙන බව කාර්යාංශය පැවසීය.

පෝලන්තයේ රැකියා ලබාගැනීමට නම් අනිවාර්යෙන්ම රැකියා බලපත්‍රයක් තිබිය යුතු බව පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇති බව එම නිවේදනයේ දැක්වේ.

එම නිසා කිසිදු අවස්ථාවක පෝලන්තයේ රැකියා බලපත්‍රයක් නොමැතිව, ශ්‍රී ලංකාවේ රැකියා නියෝජිතායතන වෙත කිසිදු මුදලක් නොගෙවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, රැකියා අපේක්ෂිතයන්ගෙන් ඉල්ලා සිටී. 

මුදල් ගෙවීමට පෙර පෝලන්තයේ රැකියා බලපත්‍රයක් ඇති බවට තහවුරු කරගන්නා ලෙසත් සැකයක් ඇත්නම්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඒ ගැන විමසන ලෙසද කාර්යාංශය රැකියා අපේක්ෂිතයන්ට දැනුම් දෙයි.