පේරාදෙණිය පොලීසියේ නිලධාරියෙක්ටත් කොවිඩ්

පේරාදෙණිය පොලීසියේ නිලධාරියෙක්ටත් කොවිඩ්

November 17, 2020   08:19 am

පේරාදෙණිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරියෙක්ට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

අද (17) උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කර සිටියේය.

ඒ අනුව මෙරට ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 785ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“ඔහු රථවාහන රාජකාරී කරන නිලධාරියෙක්. ඒ වගේම පසුගිය සති කිහිපය තුළත් ඔහු ඒ රාජකාරියේ නිරතවෙලා තියෙනවා. අපි මේ සම්බන්ධව හොයා ගෙන යනවා. ඒ වගේම එක් පීසීආර් පරීක්ෂණයක් සිදුකර තමයි අනාවරණය වෙලා තියෙන්නේ. සෞඛ්‍ය අංශ උපදෙස් දීලා තියෙනවා තවත් ස්ථීරතාවයක් ලබා ගැනීම සඳහා තවත් පීසීආර් පරීක්ෂණයක් කරන්න කියලා. දැනට ඔහු ඇතුළු ආශ්‍රිතයින් හුදකලා කරලා තියෙනවා. ඒ වගේම රථවාහන රාජකාරි කරපු නිසා සමහර වෙලාවට මාර්ගයේ ඔහු පරිහරණය කරපු දෙයකින් හෝ රාජකාරි වශයෙන් පරිහරණය කරපු දෙයක් නිසා වුණා ද කියලා හොයා ගෙන යනවා. අපි විශ්වාස කරන්නේ ඔහු රථවාහන රාජකාරී නිරන්තරයෙන් සිදුකරන නිසා ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස මේ වෛරසය හුවමාරු වෙන්න ඇති කියලා. කෙසේවෙතත් දෙවැනි පීසීආර් පරීක්ෂණයක් කරාම අපිට පුළුවන් අවසන් නිගමනයට එන්න පුළුවන්. කොහොමත් ඔහුට නිසැකවම වැළඳුන ආකාරය ගැන අනාවරණය වීමක් නෑ.“