පාසැල් ආරම්භය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

පාසැල් ආරම්භය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

November 16, 2020   04:45 pm

දිවයින පුරා පාසැල්වල 3වන වාරය ආරම්භ කිරීමට දැනට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 23 වැනි සඳුදා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

නමුත් එම දිනයේ පාසැල් ආරම්භ කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් මත බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අද (16) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ජී. එල් පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

"මේ අවස්ථාවේ අපිට සිදුවෙලා තියෙනවා ඉතාමත් වැදගත් තීරණයක් ගැනීමට. ඒ රට පුරාම පාසැල්වල 3වන වාරය ආරම්භ කරන දිනය නිශ්චිත වශයෙන් තීරණය කිරීම. 3වන වාරය ආරම්භ කිරීමට තිබුණේ නොවැම්බර් 09 වැනිදා. රටේ කොවිඩ් තත්ත්වය නිසා රජය තීරණයක් ගත්තා සති දෙකකින් ඒක කල් දැමීමට. ඒ අනුව දැනට තිබෙන දිනය තමයි නොවැම්බර් 23වැනි සඳුදා. ඒ අනුව දැන් අපිට තීරණය කරන්න තියෙන්නේ නොවැම්බර් 23 වැනිදා අපේ රටේ පාසැල්වල 3වන වාරය ආරම්භ කරනවාද කියලයි. දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය සහ දරුවන්ගේ අනාගතය කියන සාධක දෙකම සැළකිල්ලට ගෙන තමයි තීරණයක් ගැනීමට බලාපොරොත්තුවන්නේ. හැබැයි ඒ තීරණය ගන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ උපදෙස් මතයි. ඒ වගේම පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගේ අදහස් මේ තීරණය ගන්න ඉතාම වැදගත්. ඒ සියලු කාරණා ගැන ගැඹුරින් අධ්‍යනය කරලා තමයි පාසැල්වල 3වන වාරය ආරම්භ කිරීම ගැන තීරණය ගන්නේ." යනුවෙන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.