රිෂාඩ් බදියුදීන්ට එරෙහි නඩුවක් විභාගයට ගැනීමට දින නියම වෙයි
January 27, 2020 11:58 am
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර හෙළි කොට අනවසර ඉදිකිරීම් සෑදීම සහ දැනට සකස් කර තිබෙන ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමකට අදාළ වැඩිදුර විභාගය ලබන 12 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියම කර ඇත.
මෙම පෙත්සමට අදාළ විභාග දිනය නියම කිරිම සඳහා අදාල පෙත්සම අද (27) ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කර සිටියේ පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ලබන 12 වනදා සිදු කරන බවයි.
එම නඩුවේ වගඋත්තරකරුවන්ගේ වෙනස් වීම් සිදුවී ඇති බැවින් වගඋත්තරකරුවන්ගේ නාමාවලිය සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව නීතිපතිවරයාගේ සහ වගඋත්තරකාර රිෂාඩ් බදියුදීන් යන නීතිඥවරුන්ගේ විරෝධතාවට යටත්ව අදාළ වගඋත්තරකාර නාමාවලිය සංශෝධනය කිරීමට අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුන්නේය.
පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ.
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ආරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388 හෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුලින් විශාල පාරිසරික හානියක් සිදු වී තිබෙන බව පෙත්සම ඉදිරිපත් කරන පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.
එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙළි කිරීම් සිදුකොට අනවසර ඉදිකිරීම් සෑදීම වැළැක්වීමෙන් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
මෙම නඩුවේ විභාගය අවසන් කොට ඉකුත් වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කර තිබේ.
