මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම්
January 21, 2020 07:15 pm
රන්ජන් රාමනායක මන්ත්රීවරයා සමඟ දුරකතන සංවාදයක නිරත වූ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කර ඇති බව අධිකරණ සේවා කොමිසම පවසයි.
එම විනිසුරුවරයා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ නිර්දේශ පසුගියදා ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණි.
මේ අතර එවැනිම සංවාදයක වීඩියෝ පටයක් හේතුවෙන් පසුගියදා වැඩ තහනමට ලක්වුණු බද්දෙගම හිටපු මහේස්ත්රාත් ධම්මික හේමපාල මහතා අද කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්රකාශයක් ලබාදුන්නේය.
රන්ජන් රාමනායක මන්ත්රීවරයා සමඟ සංවාදයක නිරත වන වීඩියෝ පටයක් ප්රසිද්ධියට පත්වීමෙන් පසු අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් වැඩ තහනමට ලක්වුණු බද්දෙගම හිටපු මහේස්ත්රාත් ධම්මික හේමපාල මහතා අද කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්රකාශයක් ලබාදුන්නේය.
පස්වරු 2.15ට පමණ එම කොට්ඨාසය වෙත පැමිණි ධම්මික හේමපාල මහතා පැය 3ක පමණ කාලයක් ප්රකාශය ලබාදී පිටව ගියේය.
මේ වන විට හිටපු විනිසුරු පද්මිනි රණවක මහත්මිය මෙන්ම විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ද රන්ජන් රාමනායක මන්ත්රීවරයා සමඟ ඔවුන් පැවැත්වූ දුරකථන සංවාද සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ ප්රකාශ ලබා දී තිබේ.
ගිහාන් පිලපිටිය විනිසුරුවරයාගේ වැඩ තහනම් කෙරුණේ අද (21) දිනයේදීයි.