ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සේවක හිඟය උග්‍රයි-කඩිනම් විසදුම් ලබාදෙන ලෙස අමාත්‍යවරයාට ඉල්ලීමක්

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සේවක හිඟය උග්‍රයි-කඩිනම් විසදුම් ලබාදෙන ලෙස අමාත්‍යවරයාට ඉල්ලීමක්

December 3, 2019   08:38 pm

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මේ වනවිට පවතින උග්‍ර සේවක හිඟය නිසා ඇතැම් දුම්රිය ස්ථානවල කටයුතු පවා පවත්වාගෙන යාමට අසීරු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ,මගී ප්‍රවාහන සේවා කළමණාකරන සහ විදුලි බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිනිල්ලක් ඉදිරිපත් කළේය.

අවශ්‍ය සේවක සංඛ්‍යාව 20000 ක් වුවද දැනට සිටින්නේ 13000 ක පමණ සේවක සංඛ්‍යාවක් බැවින් එම කටයුතු පවත්වාගෙන යාමේදී ,විශේෂයෙන් දුම්රිය මාර්ග නඩත්තුව දුම්රිය ස්ථානවලට අදාල කටයුතු මෙන්ම වෙනත් පරිපාලන කටයුතු වලදීද ගැටලු සහගත තත්වයක් මතුවී තිබේ.

ඇතැම් සේවකයින්ට මේ නිසා මාසිකව පැය 350 ක් 400 ක් දක්වා අතිකාල සේවාවන්හි නිරතවීමට සිදුව ඇති අතර පසුගියදා අඛණ්ඩව පැය 37 ක් සේවය කල නිලධාරියෙකු හදිසි හෘදයාබාදයට ලක්ව මරණයට පත්වූ බවත් එම නිලධාරීහු ප්‍රකාශ කලහ.

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මෙම උග්‍ර සේවක හිඟය 2013 වසරේ සිටම පැවති අතර ඒ සඳහා නිසි විසදුම්  ලැබී නොමැත.

මෙම කරුණු අවධානයට ලක්කරමින් අදහස් පලකල මහින්ද අමරවීර මැතිතුමා ,එක් එක් ශ්‍රේනි සඳහා දැනට පවතින පුරප්පාඩු සම්බන්ධව අමාත්‍ය මණ්ඩල දැනුවත් කිරීම සඳහා වාර්තාවක් තමන් වෙත ලබා දෙන ලෙසද නිලධාරීන්ට දැනුම් දුන්නේය.

එමෙන්ම ශ්‍රී ලංකා දුම්රිය සේවය ආකර්ශනීය සේවාවක් බවට පත්කිරිම රජයේ අරමුණ බවත් ජාතික ප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීම මගින් රටේ සංවර්ධනය සඳහා ප්‍රමුඛ දායකත්වයක් ලබාගතහැකිබවත් ඒ සඳහා ඉදිරි දැක්මක් සහිතව කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබීය.

බත්තරමුල්ල ,සෙත්සිරිපායේ මගී ප්‍රවාහන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්ත මේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම කරුණු හෙලිවිය.