විවෘත කර නැවත වැසා දැමීමට සැරසෙන දක්ෂිණ අධිවේගය

විවෘත කර නැවත වැසා දැමීමට සැරසෙන දක්ෂිණ අධිවේගය

December 3, 2019   07:39 pm

පසුගිය ආණ්ඩුව විසින් විවෘත කරනු ලැබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ තුන්වෙනි සහ 4වෙනි අදියරෙහි වැඩ කටයුතු අවසන් වී නොමැති බැවින් වැඩකටයුතු අවසන් වනතෙක් එය වසාදැමීමට වුවද සූදානම් බව මාර්ග සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා  මේ බව පැවසුවේ අද මාතර සිට මත්තල දක්වා ඉදිකෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගය නිරීක්ෂණ කිරීම සඳහා පැමිණි අවස්ථාවේය.

මාතර සිට මත්තල දක්වා ඉදිකෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගය  එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් පසුගිය ජනාධිපතිවරණයට දින 09 කට පෙර විවෘත කරනු ලැබීය.

නමුත් එලෙස විවෘත කෙරුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ තුන්වෙනි සහ 4වෙනි අදියර වන බරවාකුඹුරේ සිට හම්බන්තොට සහ මත්තල දක්වා වූ කොටස පමණයි.

මාර්ගය විවෘත කිරීමෙන් පසුවත් සේවකයින් එහි ඉදිකිරීම් කටයුතුවල නිරත වෙයි.

එසේම වන අලින් අධිවේගී මාර්ගය හරහා ගමන් කර ඇති බවට සළකුණු ද මාර්ගය පුරා දක්නට ලැබුණි.

මාර්ග සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවෘත කෙරුණු කොටස නිරීක්ෂණය කිරීම සඳහා පැමිණියේය.

අනතුරුව අමාත්‍යවරයා ඇතුලු පිරිස (මත්තල චයිනා හාබර් කන්ස්ට්‍රක්ෂන් කාර්යාලය තුළදී ) ප්‍රදේශවාසීන් සහ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වූ අතර ඒ සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක්ද එක්ව සිටියේය.

මෙහිදී අදහස් දැක්වු නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, පසුගිය ආණ්ඩුව විසින් දේශපාලන තීන්දුවක් මත මෙම විවෘත කිරිම සිදුකර ඇති බවයි.

නමුත් මෙහි කිසිදු ප්‍රමිතියක් හෝ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමක් සිදු කර නොමැති බවත් පැවසු ඒ මහතා, හුදෙක් එය තම වාසියට පමණක් විවෘත කර ඇතැයි ද කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම මාර්ගය නැවතත් පරිසර හිතකාමි ලෙස සකසා නැවත විවෘත කිරීමට අද දිනයේ දී තීන්දුවක් ගත් බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

සුර්ය කෝෂවලින් විදුලිය උත්පාදනයට කටයුතු කිරිමට අද දිනයේ දී යෝජනා කර සිටි බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසා සිටියේ මෙයින් ජිවිත බිලි ගන්නා ලෙස විවෘත කර ඇති බවයි.

එනිසා මෙහි වහාම වාර්තාවක් කැඳවු බවත් අවශ්‍ය වුවහොත් මාර්ගය වසා දමන බවත් පැවසු අමාත්‍යවරයා, ජනතාවගේ ජීවිත ගැන වගකීම ගන්නේ නම් කිසිදු ගැටළුවක් නොමැති බවත් පැවසීය.