නාමයෝජනා නොදෙන්න මම කළ වරද මොකද්ද?- රංජන්

නාමයෝජනා නොදෙන්න මම කළ වරද මොකද්ද?- රංජන්

December 3, 2019   07:26 pm

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා නොලැබුණහොත් තමන් ස්වාධීනව මැතිවරණයට තරගවදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පලවන වාර්තා පිළිබදව මාධ්‍යයට අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, නාමයෝජනා බාර නොදෙන්න තමා කළ වරද කුමක් ද යනුවෙනි.

තමා ඥාතීන්ව කාර්ය මණ්ඩලයට යොදා ගෙන නොමැති බවත් පැවසු මන්ත්‍රිවරයා, තමා බැදුම්කර වංචාවට සම්බන්ධ නැති බවත් පැවසීය.

තමා මත්ද්‍රව්‍ය ඡාවාරම් සිදු කර නොමැති බවත් නිල නිවාස නොගත් බවත් තමා අවංකව සේවය කළ මන්ත්‍රීවරයෙක් බවත් රංජන් රාමනායක මහතා කියා සිටියේය.

“මම මොකද්ද කළ වරද මෙහෙම පළි ගන්න “ යනුවෙන්ද පැවසු මන්ත්‍රිවරයා, තමා සංඝරතනයට අපහස කළ බව පවසන බවත් කියා සිටියේය.

තමා කිසිවිටෙකත් ගරුතර සංඝ රතනයට මෙම අපහාසය නොකළ බවද පැවසු රංජන් රාමනායක මහතා, තමා කියු දේ වෙනුවෙන් තමා පෙනී සිටින බවද පැවසීය.

තමාට නාමයෝජනා ලබා නොදෙන්නේ නම් ස්වාධීනව සිටින බවද ඒ මහතා කියා සිටියේය.

අදාළ ඡන්ද සංඛ්‍යාව ජනතාව ලබා දුන්නේ නම් තමා පාර්ලිමේන්තුවට යන බවත් නැතිනම් නැවතත් රංගන ශිල්පියෙක් ලෙස ගෙදර යන බවත් රංජන් රාමනායක මහතා පැවසීය.