පළාත් 5කට අද රෑට වැස්ස වැඩී

පළාත් 5කට අද රෑට වැස්ස වැඩී

December 3, 2019   07:17 pm

උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද(03) රාත්‍රියේ සිට වැඩිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 4153කට අයත් පුද්ගලයින් 14,164 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි.

නැගෙනහිර පළාතට බලපා තිබෙන අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයටයි.

ගතවූ පැය 24ක කාලය තුළ මඩකලපුව කිරාන් ප්‍රදේශයට මිලිමීටර 150ක පමණ තද වැසි ඇදහැලුණා.

දිස්ත්‍රික්කයේ පවුල් 1651කට අයත් පුද්ගලයින් 5774ක් දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර මන්මුණේ, කාත්තන්කුඩි, කෝරලෙයිපත්තු වැනි ප්‍රදේශවල ප්‍රධාන මාර්ග රැසක් පවතින්නේ ජලයෙන් යටවයි.

උතුරුමැද පළාතට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් අනුරාධපුර කලාවැවේ වාන්දොරටු 02ම අඩි 04 බැගින් විවෘත කර තිබේ.

ඒ හේතුවෙන් අවුකන සිට කැකිරාව දක්වා ගමන්ගන්නා මාර්ගය  ජලයෙන් යටවිය.

තිසා වැව ද ඊයේ රාත්‍රියේ සිට වාන්දැමීම ආරම්භ වී තිබේ.

අංගමුව ජලාශයේ වාන්දොරටු දෙක සහ රාජාංගනය ජලාශයේ වාන්දොරටු 31න් 10ක් ද මේ වනවිට විවෘතයි.

මේ අතර අනුරාධපුර දුම්රිය නගරයේ සිට පූජා නගරය දක්වා වැටී ඇති මල්වතු පටුමගේ නවපාලම ඉදිකිරීම සඳහා ගෙනවිත් තිබූ යන්ත්‍රෝපකරණ ජලපහරට හසුවී තිබුණා.

ඒ අතර තිබූ කුඩා බවුසරයක් අඩි 300ක් පමණ දුරට ගසාගෙන ගොස් ජේතවනාරාමය අසල කුඹුරක රැඳී තිබුණේ මේ අයුරින්.

නාච්චාදූව ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමත් සමග දිවුල්වැව,කළුආරච්චියාගම වැව හා පහළවැව යන ජලාශ පිටාර යාමෙන් නාච්චාදූව ගොවි ජනපද ව්‍යාපාරයට අයත් කුඹුරු අක්කර 200ක් පමණ ජලයට හසුව තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අනුරාධපුර දඹුලුහල්මිල්ලවැව ගම ප්‍රදේශයේ නිවසක් කඩාවැටී තිබුණේය.

වර්ෂාවත් සමඟ පොළොවෙන් උල්දිය දැමීම ඊට හේතුවයි.

මහවැලි ගඟේ ජලය පිටාර යාමත් සමඟ පොළොන්නරුව සෝමාවතිය පූජා නගරයේ පිවිසුම් මාර්ගය තවදුරටත් ජලයෙන් යටව පවතියි.

මේ අතර බදුල්ල ඌව පරණගම, ගලහගම ප්‍රදේශයේ නායයාමේ අවදානමක් හේතුවෙන් ප්‍රදේශවල පවුල් 09ක පුද්ගලයින් 49 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

නුවරඑළිය වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ නායයෑමෙන් අතුරුදන්ව සිටින 15 හැවිරිදි පාසල් සිසුවා සොයා 03 වන දිනටත් අද මෙහෙයුම්  සිදුවුණා.

ඒ, එම ප්‍රදේශයට බලපා තිබෙන දැඩි මීදුම් තත්ත්වය සහ වැසිසහිත කාලගුණය මධ්‍යයේයි.

මෙම නායයාමට හේතු වූ ගල් වළ වහාම වසාදමන්නැයි බල කරමින් ප්‍රදේශවාසීන් අද වලපනේ - පදියපැලැල්ල මාර්ගය නාරන්තලාව ප්‍රදේශයෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විය.