ලංකා රාජ්‍ය දෙකඩ කිරීමේ වෑයමක් ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

ලංකා රාජ්‍ය දෙකඩ කිරීමේ වෑයමක් ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

December 3, 2019   06:18 pm

ශ්‍රී ලංකාවට රාජ්‍ය දෙකක විසඳුමක් ලබාදිය යුතු බවට එක්සත් රාජධානියේ කොන්සවේටිව් පක්ෂය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් අදාළ කරුණු සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. 

ලබන 12 වැනිදා පැවැත්වෙන එක්සත් රාජධානීයේ මහ මැතිවරණය සඳහා පාලක කොන්සර්වේටිව් පක්ෂය පසුගිය 25 වැනිදා පිටු 64 කින් යුත් මැතිවරණ ප්‍රකාශනය එළිදක්වනු ලැබීය.

එම ප්‍රකාශනයේ 59 වැනි පිටුවෙහි ශ්‍රී ලංකාව තුළ රාජ්‍යයන් දෙකක් බිහිකිරිමේ විසඳුමකට සහය දෙන බව ප්‍රකාශ කර තිබේ.

උපුටාගැනීම 

‘‘ලොව පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය ළගා කර ගැනීමට ගෙන ඇති ජාත්‍යන්තර වැඩපිළිවෙලට අපේ සහය ලබාදීම අඛණ්ඩව සිදුකරන අතර සයිප්‍රසය, ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග වැනි වත්මන් හෝ මීට පෙර අර්බුද කලාපයන් වෙනුවෙන් රාජ්‍ය දෙකක විසඳුම සඳහා අපගේ සහයෝගය පවත්වා ගැනීම සිදුකරනු ලබයි.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අද(03) පැවැති පිවිතුරු හෙළ උරුමය පක්ෂ මාධ්‍ය හමුවේදී අදහස් පළවුණා. 

මෙහිදී අදහස් දැක්වු උදය ගම්මන්පිල මහතා කියා සිටියේ,  එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 53 වන පිටුවේ ලංකාවේ පවතින අර්බුදයට විසඳුම ලෙස රාජ්‍ය දෙකක් බිහි කළ යුතු බවට පෙන්වා දී ඇති බවයි.

ඒ සඳහා ඔවුන් ජනවරමක් ඉල්ලා සිටින බවත් පැවසු ගම්මන්පිල මහතා, මෙම මැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂය ජය ලැබුවොත් දෙමළ ඊළම වෙනුවෙන් ජාත්‍යන්තරයේ පෙනී සිටීමට ඔවුන්ට නීතියානුකූල ජනවරමක් ඇති බවත් පැවසීය.

දෙමළ ඊළම වෙනුවෙන් සන්නද්ධ අරගලයක් ඔවුන්ට ඇරඹිය හැකි බවත් පැවසු ගම්මන්පිල මහතා, දෙමළ ඊළමට එක්සත් ජාතින් තුළ ඡන්දය ලබා දීමට පවා හැකියාව ඇතැයි කියා සිටියේය.

එනිසා මෙය අතිශයින්ම භයානක තත්ත්වයක් බවත් පැවසු ගම්මන්පිල මහතා, දවස් 8ක් ගිය ද එක්සත් රාජධානියේ ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවත් පැවසීය.

“අපේ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් නිදාවැටෙන්නේ ඇයි දැයි“ ප්‍රශ්න කර සිටි ඒ මහතා, “බෙදුම්වාදින් සමඟ ඔවුන් හවුලේ කටයුතු කරනවා ද?“ දැයි කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් පැවසු ගම්මන්පිල මහතා, එම නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා ක්ෂණිව ප්‍රතිචාර දැක්විය යුතු බවත් පැවසු ගම්මන්පිල මහතා, අද දිනයේ දී මේ සම්බන්ධයෙන් ලියාපදිංචි තැපැලෙන් විදේශ ඇමතිව දැනුවත් කළ බවත් පැවසීය.

මෙය ශ්‍රී ලංකාව මුහුණ දෙන අලුත් රාජ්‍ය තාන්ත්‍රක අභියෝගයක් බවත් පැවසු ඒ මහතා, මේ ගැන විදේශ අමාත්‍යතුමා විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.