O/L ලියන කිසිම සිසුවෙකුට බාධාවක් සිදු වී නෑ-ඩලස්

O/L ලියන කිසිම සිසුවෙකුට බාධාවක් සිදු වී නෑ-ඩලස්

December 3, 2019   03:37 pm

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කිසිදු දරුවෙකුට කිසිම විභාග මධ්‍යස්ථානයක දී අපහසුවක්, පීඩාවක් හෝ බාධාවක් සිදුව නැති බවත්, එවැනි බාධා සිදු ව ඇති බවට අසත්‍ය තොරතුරු හුවා දක්වමින්  හුදෙක් දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් විභාගය සහ රටේ දරුවන් ඈඳාගන්නට දරන උත්සාහය බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරනු ඇති බව ද අධ්‍යාපන, තරුණ කටයුතු සහ ක්‍රීඩා  අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

සිසුදරුවන් හත්ලක්ෂ දාහත්දහස් අට දෙනෙක් (7,17008) පෙනී සිටින මෙවර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වී මේ වනවිට දින දෙකක් ගත ව ඇති බවත්, මතු වූ ආපදා තත්වය හේතුවෙන් ඛේදනීය ඉරණමකට ලක් වූ වලපනේ, ජී ජී කලණ පැතුම් පුතණුවන් හැරුණුවිට අනෙකුත් දරුවන්ට මෙවර විභාගයට පෙනීසිටීමට  කිසිදු බාධාවක් මෙතෙක්  මතු වී නොමැති බවත් දිවයිනේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් වලපනේ, රාගල, සහ පුත්තලම  ප්‍රදේශවල මෙම විභාගය පැවැත්විය හැකි ද යන ගැටළුව මුල් අවස්ථාවේ දී මතුව පැවති නමුත්, විභාගයට පෙර දා රාත්‍රිය වනවිට එම ආපදා තත්වයන් මඟහැර අපහසුවකින් තොරව විභාගය පැවැත්වීමේ හැකියාව සැලසී තිබූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙහි දී තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා,

 “ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල ඊයේ දවසෙ ප්‍රචාරය වුණා, කැකිරාව අධ්‍යාපන කලාපය තුළ මුස්ලිම් දියණියන් කිහිප දෙනෙකුට ඔවුන්ගේ සංස්කෘතික මුහුණු වැස්ම නිසා එම විභාග මධ්‍යස්ථානයට ඇතුළු වීමට ඉඩ දුන්නේ නැති බවට ප්‍රවෘත්තියක්. 

මේ ප්‍රවෘත්තිය කන වැකුණු වහාම මම අපේ විභාග කොමසාරිස් ජනරාල්තුමාට කතා කරල කිව්වා වහාම මේ ගැන සොයා බලා ඒ තත්වය නිවැරදි කරන්න කියලා. එතුමන් විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයාට පුද්ගලික ව කතා කළා.

කැකිරාව කලාප අධ්‍යක්ෂකට කතා කළා. එවැනි කිසිවක් එතන සිදුවී නොමැති බවත් මෙවර විභාගයට ‍පෙනී සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ම දරුවන් කිසිදු බාධාවකින් තොරව විභාගයට පෙනී සිටින්නට අවස්ථාව සලසා ඇති බවත් මම වගකීමෙන් ප්‍රකාශ කරනවා...” 

එමෙන් ම ශ්‍රී ලාංකේය පුරවැසියන් වශයෙන් අප මේ අවස්ථාවේ කළ යුත්තේ මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරවා හැරීමට ඉඩ දීම නොව දරුවන්ගේ අනාගතය පිළිබඳ තීරණාත්මක මොහොතක, ඔවුන්ට විභාගයට පෙනී සිටීමට ආත්ම ශක්තිය වැඩිවේවා!යි ප්‍රාර්ථනය කරමින් ඔවුන් වෙත සුබපැතීම බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.