පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි

පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි

December 2, 2019   05:20 pm

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය ෂාඩ් මහමුද් කුරේෂි මහතා (Shad Mahmood Qureshi)  අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

තමන්ගේ සහ තම රජයේ සුභාශීංසන ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා දෙරට අතර ආර්ථීක සංවර්ධනය, වෙළෙඳ කටයුතු, ආරක්ෂිත සහයෝගිතාව සහ කලාපීය සහයෝගිතාව යන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමෙහිලා පාකිස්ථානයේ දැඩි උනන්දුව ප්‍රකාශ කළේය.

"දැනටමත් දෙරට අතර ඇත්තේ සමීප මිත්‍රශීලි සහ උණුසුම් සබඳතාවක්. සහයෝගිතා වපසරිය පුළුල් කර ගනිමින් එය තවදුරටත් ශක්තිමත් කර ගැනිම පාකිස්ථානයේ  බලාපොරොත්තුවයි", විදේශ අමාත්‍යවරයා පැවසීය.


තම රට සතු බෞද්ධ උරුමය සංවර්ධනය කර ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග එක්ව ක්‍රියා කිරීමට තම රජය කැමැත්තෙන් සිටින බව ද අමාත්‍ය කුරේෂි මහතා සඳහන් කළේය.

"ඔබතුමා චාරිකාවක් සඳහා පාකිස්ථානයට එන තුරු අපි උනන්දුවෙන් බලා සිටිනවා.", යැයි ද විදේශ අමාත්‍යවරයා කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ මුල්‍යමය ආධාර සොයනු වෙනුවට අප වෑයම් කළ යුත්තේ අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී පදනම මත වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයන්හි අඛණ්ඩ ප්‍රගතිය සහතික කිරීම සඳහා බවයි.  

පකිස්ථානයට බුලත් අපනයනය ජනාධිපතිවරයා එහිදි උදාහරණයක් ලෙස දැක්වීය.

" මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය භාවිතය අප රට මුහුණ පා සිටින බරපතළ උවදුරක්, මේ ව්‍යසනය පිටුදැකීමට අප පකිස්ථානයේ සහයෝගය අපේක්ෂා කරනවා”., ජනාධිපති රාජපක්ෂ මැතිවරයා සඳහන් කළේය. 

ඉස්ලාමීය අන්තවාදයට එරෙහි සටනේ දි ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ද ජනාධිපතිවරයා පාකිස්ථාන රජයෙන් ඉල්ලිමක්  කළේය.

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මොහෙමඩ් ෆයිසාල් සහ ශ්‍රී ලංකාවේ වැඩබලන පාකිස්ථාන මහ කොමසාරිස් තන්වීර් අහ්මඩ් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.