විපක්ෂ නායකධූරය රනිල්ට අයිති වෙනවා-එස්.එම්

විපක්ෂ නායකධූරය රනිල්ට අයිති වෙනවා-එස්.එම්

November 29, 2019   12:11 pm

විපක්ෂ නායකධූරය හිමිවිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බව අමාත්‍ය එස් .එම් චන්ද්‍රසේන මහතා පවසයි.

අනුරාධපුරයේ දි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරයටම කථානායකවරයා මෙහිදී ක්‍රියාකළ යුතු බවයි.

මෙහිදී අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, පළමු කැබිනට් මණ්ඩලයේ දීම රටේ ජනතාවගේ බදු බර අඩු කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළ බවයි.

බදු වර්ග 9 ක බදු ඉවත් කළ බවත් පැවසු අමාත්‍යවරයා, තවත් බදු ක්‍රම කීපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සංශෝධනය කිරීමට අවසරය ලබා ගැනීමට ඇති බවත් කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වු, සියලු දේ අකුරුක් නෑර සිදු කරන බවත් පැවසු අමාත්‍යවරයා, පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේ දීම ජනතාවට සහන ලබා දීමට හැකි වීම ගැන සතුටු වන බවත් පැවසීය.

රටක් දියුණු කරන්න බදු අය කළ යුතු නොවන බවත් පැවසු මන්ත්‍රීවරයා, පසුගිය ආණ්ඩුව ක්‍රමය නොදන්නා බවත් කියා සිටියේය.

ජනතාවට බදු පටවා ඔවුන් පීඩාවට පත් කිරීම පමණක් පසුගිය ආණ්ඩුව විසින් සිදු කළ බවත් පැවසු අමාත්‍යවරයා, ලක්ෂ 70කට ආසන්න පිරිසක් ගෝඨාභය මහතාට ඡන්දය ලබා දෙන විට අනෙක් අයට උඩුගම් බලා යා නොහැකි බවත් පැවසීය.

සියලු දෙනාට ඒ ගමනට එකතු වීමට සිදුවන බවත් පැවසු අමාත්‍යවරයා, සිංහල, දෙමළ හා මුස්ලිම් යනුවෙන් බෙදී එකතු වන්නේ නම් සතුටු වන බවත් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මන්ත්‍රීවරු 52 ක් සිටි බව පැවසු අමාත්‍යවරයා, විපක්ෂ නායකධූරය ඉල්ලු විට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් සිටින නිසාවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම්වරයාගේ අත්සන නොමැතිව එය ලබා නොදුන් බවත් පැවසීය.

එනිසා මන්ත්‍රීවරු 16 දෙනෙක් සිටි දෙමළ ජාතික සංධානයට විපක්ෂ නායකධූරය හිමි වු බවත් පැවසු අමාත්‍යරවයා, කථානායකවරයා එදා දවසේ තම පක්ෂයට කළ දේ අද දවසේ එක්සත් ජාතික පක්ෂයට නොකර සිටිය නොහැකි බවත් කියා සිටියේය.

එනිසා පක්ෂයේ ලේකම් ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා කථානායකට ලිපියක් යවා ඇති නිසා රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂ නායකධූරය ලබා දිමට සිදුව ඇතැයි ද අමාත්‍යරවයා පැවසීය.