උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව සහල්

උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව සහල්

November 28, 2019   01:55 pm

එළඹෙන උත්සව සමයේ දී හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීම සඳහා දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉකුත් මහ කන්නයේ දී මිල දී ගත් වී තොග මේ වන විට අදාළ ගබඩාවල තැන්පත් කර ඇති බවත් මෙම වී තොග අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් හඳුනාගත් පෞද්ගලික අංශයේ වී මෝල් මඟින් සහල් බවට පත් කර ලංකා සතොස වෙත ලබා දීමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන්ය.

මහා භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ දිසා ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන්අද (28) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹි ඇත.

මෙම සහල් උපරිම සිල්ලර මිල යටතේ ලංකා සතොස අලෙවිසල් මඟින් පාරිභෝගිකයන් වෙත අලෙවි කරන බවත් මේ සඳහා ලංකා සතොස මඟින් සහල් සඳහා වන මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන්වෙත ලබා දීමට නියමි බවත් මුදල් අමාත්‍යාංශව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ඒ අනුව එළඹෙන සතිය තුළ දිවයින පුරා ගබඩා කර ඇති වී තොග සහල් බවට පත් කර  ලංකා සතොස වෙත නිකුත් කිරීම ආරම්භ කෙරෙන බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.