පාරක් නැති නිසා කුඹුර මැදින් අවසන් ගමන් ගියහැටි

පාරක් නැති නිසා කුඹුර මැදින් අවසන් ගමන් ගියහැටි

November 27, 2019   08:34 pm

ගලේවෙල, දැඹව වැගොඩපොල ප්‍රදේශයේ මියගිය අයෙකුගේ දේහයක් උණ බටයක ආධාරයෙන් ලණුවකින් එල්ලා කුඹුරක නියර මැදින් භූමදානය කිරීම සඳහා රැගෙන යාමේ පුවතක් අද(27) පස්වරුවේ වාර්තා විය.

ගලේවෙල දැඹව වෑගොඩපොල ප්‍රදේශයේ ජීවත් වූ අසූ තුන් හැවිරිදි කුඹුරේ ගෙදර ජේමිස් මහතා මෙසේ කුඹුර මැදින් ප්‍රදේශවාසීන්ගේ උදව්වෙන් මිනී පෙට්ටිය එල්ලාගෙන අවසන් ගමන් ගියේය.

උපන්දා සිට මෙම නිවාස කීපයකටම ගමන් කිරීමට ඇති කුඹුරක නියරක් මැදින් බවත් වසර ගණනාවක් තිස්සේ මෙම නිවාස  කිහිපයකට ගමන්කිරීමට පාරක් ඉල්ලා සිටිය ද කිසිදු බලධාරියෙක් ගෙන් අවධානයක් යොමු නොවුන බවත් පෞද්ගලික ඉඩම් හිමියන් එම කුඹුරෙන් අඩි දෙක තුනක් ලබා නොදෙන නිසාවෙන් මේ තත්ත්වය උදා වූ බව ප්‍රදේශවාසීන් සහ විහාරාධිපති හිමියන් පවසති.

ජේම්ස් මහතාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාව එළඹෙද්දී ධාරානිපාත වර්ෂාවක් ද පතිත වූ බවද වාර්තා වෙයි.

වර්ෂාව මධ්‍යයේ ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු මද දුරක් කරමතින් ඉතා අපහසු වේ එම මළ සිරුරු සහිත පෙට්ටිය රැගෙනවිත් නැවතත් කුඹුරක් අසල තබා විශාල උණ බටයක් ගෙන මිනීපෙට්ටිය උණ බටයක බැද  පුද්ගලයන් කීපදෙනෙකු දෙපැත්තෙන් එල්ලාගෙන නියර දිගේ රැගෙන ගොස් නැවතත් ප්‍රධාන මාර්ගයට රැගෙනවිත් ලණුව ලිහා උණබට ඉවත් කොට නැවත කරදින් සුසාන භූමියට රැගෙන යෑමට සිදුවිය.

මෙහිදී දැඹව පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති ගෙලිඔය සුමේධ හිමියන් කියා සිටියේ බුදු දහමේ කියැවෙන අත් හැරීම පිළිබඳව ජනතාව තවමත් නිසි ලෙස තේරුම් ගෙන නොමැති බවය. 

මෙම ප්‍රදේශයේ පවුල් ගණනාවකටම මෙයාකාරයෙන් මළසිරුරු රැගෙන යෑමට සිදුවීම බෞද්ධයන් හැටියට කණගාටුවක් බවත් වර්තමාන  අග්‍රාමාත්‍යවරයාගේ හෝ අවධානය යොමුවී මෙම පවුල්වලට අවසන් ගමන් යෑම සඳහා මාර්ගයක් තනා දෙන්නැයි උන්වහන්සේ ඉල්ලීමක් කළහ.