විල්පත්තු රක්ෂිතය හෙළි කිරීමට එරෙහි නඩුව ජනවාරියට කල්යයි

විල්පත්තු රක්ෂිතය හෙළි කිරීමට එරෙහි නඩුව ජනවාරියට කල්යයි

November 25, 2019   03:22 pm

විල්පත්තු රක්ෂිත කැලෑවට ආසන්නයේ පිහිටි වනාන්තර එළි කොට එහි ජනතාව පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම වැඩිදුර විභාගය ජනවාරි මස 23 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(25) අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2012 වසරේ ඔක්තෝබර් මස 10 වන දා විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය වෙනුවට  දැනට එළිපෙහෙළි කර තිබෙන බිම් කොටස ඇතුලත් නල්ලාරු ප්‍රදේශය විල්පත්තු රක්ෂිත වනාන්තර කලාප සිතියමෙන් ඉවත් කොට අලුතින් සංරක්ෂිත කලාපයක් ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කරන බව සඳහන් කර සිටියේය.

එම යෝජනාවට තමන් විරුද්ධ වන බව පෙත්සම ඉදිරිපත් කළ පරිසර යුක්ති කේන්දයේ නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සම පිළිබඳව වැඩිදුර විභාගය ජනවාරි මස 23 වනදාට කල් තැබුණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.