නව රජයක් පිහිටුවන බව ජනපති ගෝඨාභය පවසයි

නව රජයක් පිහිටුවන බව ජනපති ගෝඨාභය පවසයි

November 18, 2019   12:28 pm

තම පාලනය යටතේ නව රජයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාපති ගෝඨාභට රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින්ය.

මෙලෙස ජාතිය ඇමතීමට හැකි වුයේ මෙරටේ බහුතර ජනතාව තමන්ට ලබා දුන් ඵෙතිහාසික ජනවරම නිසා බවද ඒ මහතා පවසයි.

අද පටන් රටේ විධායක ජනාධිපතිවරයා ලෙසත් ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් තමන් ඉදිරියේදි කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

තමන්ගේ ජයග්‍රාහණයට සුවිශේෂි පිටුවහල වුයේ මෙරට වැඩවසන ගරුතර සංඝරත්නයේ ආශිර්වාදය බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙම ජයග්‍රහණයේ ප්‍රධානතම හේතුව වී ඇත්තේ බහුතර සිංහල ජනතාවගේ ඡන්දය බවත් එය තමන් පෙර සිටම දැන සිටි නමුත් එයට දායක වන ලෙසට තමන් දමිළ සහ මුස්ලිම් ජනතාවගෙන ඉල්ලා සිටි බව ඒ මහතා එහිදි සිහිපත් කළේය.

නමුත් තමන් බලාපොරොත්තු වු පරිදි දමිළ සහ මුස්ලිම් ජනතාවගේ සහය තමන්ට නොලැබුණු බව සඳහන් කළ ජනාධිපතිවරයා පැවසුවේ මෙතැන් පටන් රටේ ජනාධිපතිවරයා ලෙස රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට එම පිරිසට නැවතත් ආයාචනා කරන බවයි.

තමන් බෞද්ධාගමික පරිසරයකින් පැවත එන බවත් ඒ අනුව බෞද්ධ දර්ශනය අනුව සිදු වන්නේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය ඇති රාජ්‍ය පාලනයක් බව සඳහන් කළ ඒ මහතා පැවසුවේ තම ධූර කාලය තුල බෞද්ධාගම ආරක්ෂා කිරීමට සහ පෝෂණය කිරීම සඳහා තමන් කැප වී කටයුතු කරන බවයි.

එම අවස්තාවේදි ජනාධිපතිවරයා කළ සම්පුර්ණ කතාව පහත දැක්වේ.,

"වැඩමවා වදාල මහ නායක ස්වාමීන් වහන්සේලා, අනු නායක ස්වාමීන් වහන්සේලා ඇතුලු පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි.

 හින්දු,  කිතුනු, ඉස්ලාම් හා අනෙකුත් ආගමික පූජක තුමන්ලාගෙන්ද අවසරයි

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි 

ගරු අග්‍රාමාත්‍ය තුමනි

අග්‍ර විනිශ්චයකාර තුමනි, මහ කොමසාරිස් වරුනි, තානාපති වරුනි

පාර්ලිමේන්තු මංත්‍රීවරුන් ඇතුලු සියලු මහජන නියෝජිතවරුනි,

ආරාධිත අමුත්තනි, සියලු ශ්‍රී ලාංකීය පුරවැසියනි

බුදුන් වහන්සේගේ ද්‍රෝනයක් සර්වඥ ධාතූන්වහන්සේලා තැන්පත් කොට ඉදිකරන ලද, මේ ඓතිහාසික ස්වර්ණමාලී මහා සෑ පුද බිමේ සිට ඔබව අමතන්නට ලැබීම මා ලද සුවිශේෂී භාග්‍යයක්. 

ශ්‍රී ලංකේය  රාජවශයේ ශ්‍රේෂ්ඨතම නරපතියෙකු වන දුටු ගැමුණු මහ රජුන්ගේ පිලිරුව අභියස සිට ජාතිය අමතන්නට  අවස්ථාව ලැබී  තිබෙන්නේ මේ රටේ  බහුතරයක් ජනතාව විසින් මට ලබා දුන් ඓතිහාසික ජන වරම නිසායි.

අද මා  ඔබ හමුවන්නේ  අප සියලු දෙනාම  ආදරය කරන මේ  මව්බිමේ  විධායක ජනාධිපතිවරයා , සේනාධිනායකයා මෙන්ම ඔබේත්  ඔබේ දූ දරුවන්ගේත් ආරක්ෂාවේ වගකීම බාරගන්නා ආරක්ෂක ඇමතිවරයා වශයෙනුයි.

සියල්ලටම පෙර මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නට  කැමතියි මේ මැතිවරණය ජයග්‍රහණය සඳහා වූ  සුවිශේෂී ම  පිටුවහල වූයේ  අප රටේ සිව්දිග වැඩවසන ගරුතර මහා සංඝරත්නය විසින්  ලබා දුන්  ආශිර්වාදය  බව 

මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නෙ   බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දැනසිටියා.  

සිංහල ජනතාවගේ සහායෙන්  පමනක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කල හැකිව තිබුනත් මා දමිල හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කලා ඔබත් ඒ ජයග්‍රහණයෙ කොටස් කරුවන් වන්න කියා. 

එයට ප්‍රතිචාරය නම් මා අපේක්ෂා කල  මට්ටමට  තිබුනේ නැහැ. 

එහෙත්  මා  ඔබේ නව ජනාධිපතිවරයා වශයෙන් යලිත් ඉල්ලා සිටින්නේ  මේ  රටේ අනාගත අභිවෘධිය වෙනුවෙන්, සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එක්වන ලෙසයි.  

මා වෙනුවෙන් චන්දය භාවිතා කල සියලූම චන්ද දායකයන්ට මම මේ අවස්ථාවේ  මගේ ස්තූතිය හා ගෞරවය පුද කරනවා.  

එමෙන්ම මා වෙනුවෙන් චන්දය භාවිත කලත් නොකලත්,  ප්‍රජාතන්ත්‍රවාදී චන්ද අයිතියට ගරු කරමින් කවර හෝ අපේක්ෂකයෙකු වෙනුවෙන් ඔබේ වටිනා චන්දය භාවිත කල අනෙකුත් චන්දදායකයන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.

දකුණේ  සිංහල බෞද්ධ පවුලකින් පැවතගෙන එන  මම අධ්‍යාපනය ලැබුවේත් ලංකාවේ ප්‍රධාන පෙලේ බෞද්ධ පාසැලක් වන, කොළඹ ආනන්ද විද්‍යාලයේ

ඒ නිසා බෞද්ධ දර්ශණය හැම විටම මගේ සිතුවිලි වලට හා ගතිපැවතුම් වලට එක් වී තිබෙනවා. 

බෞද්ධ දර්ශණය තුල ඉදිවන්නේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය සහතික වන ධර්මානුකූල වූ රාජ්‍යයක්. සියලූම  ජාතිකයන්ට සියලුම ආගමිකයන්ට, ක්ෂේම භූමියක් වූ පාලන තන්ත්‍රයක්. 

 මගේ ධුර කාලය තුල මේ රටේ බෞද්ධ දර්ශණය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම කැප වෙනවා. 

වසර දහස් ගනනක් ඉතිහාසයක් ඇති  සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැම විටම  ආරක්ෂා කල යුතුයි.  

ඒ නිසා අපේ සාරධර්ම,  පාරම්පරික සිරිත් විරිත් හා අපේ කම  ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය  ලබා දෙනවා.  

ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය  හා බැඳී සාමයෙන් සහජීවනයෙන් ජීවත් වූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට තම ආගමික හා ජාතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත් වීමට ඇති අයිතිය අපි හැම විටම සුරකිනවා


මැතිවරණ ව්‍යාපාරය පුරා මට අයෝමය ශක්තියන් වූ,  මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී ක්‍රියාකල ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති,   පොදු ජන පෙරමුණේ නායක,මහින්ද රාජපක්ෂ මැතිතුමාට මගේ ගෞරව පූර්වක ස්තූතිය පුදකරනවා 

 ඒ සමඟම මම ඔබ තුමාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා

මගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වූ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ යාන්ත්‍රණයේ නිර්මාතෘවරයා වන,   පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටත් විශේෂ ස්තුතියක්  මම  මේ අවස්ථාවේ පුද කරනවා. 

පක්ෂයේ සභාපතිතුමා,  මහ ලේකම් තුමා ඇතුලු සියලුම නිලධාරීන්ට,  මහජන නියෝජිතයන්ට හා සාමාජිකයන්ටත්  මම ස්තූති කරන්න කැමතියි.

එසේම  මට සහාය දීමට එක්වී මෙම මැතිවරණය ව්‍යාපාරය තුල සුවිශේෂී  කාර්ය භාරයක් ඉටු කල   සියලූම දේශපාලන පක්ෂවල නායකයන්ටත්,  එම පක්ෂවල  නිලධාරීන්ට හා සාමාජිකයන්ටත් මේ අවස්ථාවේදී මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා. 

මෙම මැතිවරණයේදි රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුරවැසියන් අතර වෙන කවරදාවත් නැති උද්‍යෝගයක් අප දුටුවා. 

කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මින් පෙර මැතිවරණ ක්‍රියාවලියකට සහභාගී නොවූ ලක්ෂ සංක්‍යාත ජනතාවක් මෙවර අප වෙනුවෙන් ස්වේච්චාවෙන් වැඩකලා. 

වියත්මග වැනි වෘතීය වේදීන්ගේ සංවිධාන, විවිධ ජාතික සංවිධාන, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, විද්වතුන්, කලාකරුවන්,  සමාජ ජාලා ක්‍රියාකාරිකයන්, චන්දය දීම සඳහාම ලංකාවට පැමිණි  අපේ විදේශ ගත ශ්‍රමිකයන් මෙන්ම තරුණ පරපුර මේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් දුන් සුවිශේෂී  දායකත්වය මා  අගය කරනවා. 

ඔවුන් බොහෝ දෙනෙක් පෞද්ගලිකව මා  හමුවී නැතත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම කැපවීමෙන් ඉටු කලා. ඒ සියලු දෙනාටම මේ අවස්ථාවේ මගේ ස්තූතිය පුද කරනවා

දැන් අපට තිබෙන්නේ ජාතියක් වශයෙන් එකට එක්වී මේ රට ගොඩ නැගීමේ වගකීමයි.

චන්දය භාවිතාකල ඔබ  විසින් මේ ජන වරම මට ලබා දී තිබෙන්නේ 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා අප විසින් රටට යෝජනා කල  'ජනතාව විසින්' 'ජනතාව උදෙසා'  සකස් කල 'ජනතා වැඩපිලිවෙල' ක්‍රියාත්මක කිරීමටයි. 

එය මේ  රටේ ඒකියත්වය,  ස්වෛරීත්වය හා  ආරක්ෂාව සුරක්ෂිත කරන වැඩපිලිවෙලක් - මේ රටේ ජීවත්වන සියලු පුරවැසියන්ගේ අපේක්ෂා ඉටු කරන වැඩපිලිවෙලක් -   අනාගත පරපුරට ආඩම්බරයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් ගොඩ නංවන වැඩපිලිවෙලක්.

 මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගුවන සියලු කරුණු මගේ ධුර කාලය තුල ඉටු කිරීමට මම කටයුතු කරනවා.

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම මගේ රජයේ මූලික වගකීමක් ලෙස සලකනවා.

අපේ  මව්බිම ත්‍රස්ථවාදයෙන්,  පාතාල ක්‍රියාකාරකම් වලින්, සොර බියෙන්, කප්පම් කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන්,  කාන්තා හා ලමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය අපි යලිත් ශක්තිමත්ව ගොඩනංවනවා. 

අපි සෑම රටක් සමඟම මිත්‍රශීලිව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. 

ලෝක දේශපාලනය තුල විවිධ  ජාතින් අතර බල අරගලයන්ට මැදිවන්නට අපට අවශ්‍යතාවක් නැහැ.  

WE WANT TO  REMAIN NEUTRAL IN OUR FOREIGN RELATIONS AND STAY OUT OF ANY  CONFLICTS AMONGST THE WORLD POWERS .  

අප සමඟ සම්බන්ධතා පැවැත්වීමේදී  අපේ රටේ ඒකීයත්වයට හා  ස්වෛරීත්වයට  ගරු කරන ලෙස  අප  සියලු රටවලින් ඉල්ලා සිටිනවා. 

අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අපේ මූලික වගකීමක්. ඒ නිසා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු  ඉටුකිරීමේදී  ලෝකයේ ඉදිරියෙන්ම සිටිනා රටක් බවට ලංකාව පත්කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

WE WILL HAVE OUR FULLEST COMMITMENT TO ACHIEVE THE  'SUSTAINABLE DEVELOPMENT GOALS' OF UN 

මේ මැතිවරණය ආරම්බයේ සිටම අපි මේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් කරන්නට කැපවුනා.  

ප්‍රතිවාදීන්ට අපහාස නොකරන, ප්ලාස්ටික් පොලිතීන් වලින් තොර, පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් හරහා අන් සියලු දෙනාටම ආදර්ශයක් සපයන්නට අපට පුලුවන් වුනා.  

රාජ්‍ය පාලනය තුලත් ඒ ආදර්ශමත් බාවය දිගටම පවත්වාගෙන යන්නට මම ක්‍රියා කරනවා.

නීතියේ ආධිපත්‍යයට ගරුකරන,   සමාජ සාධාරණත්වය සුරකින,   දූෂණයෙන් වංචාවෙන් තොර, සැබෑ  ජනතා සේවයට කැපවුන,  වෘත්තීමය හා කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක්  යලි මේ රටේ ස්ථාපිත කරන්නට මම ඔබට පොරොන්දු වෙනවා. 

ප්‍රතිපත්ති ප්‍රකාශණය තුල පොරොන්දු වූ ආකාරයටම,  අපේ පාලන ක්‍රමය තුල විවිධ වගකීම් පැවරීමේදී   හැකියාවට හා දැනුමට හැම විටම මුල් තැන ලබා දෙනවා. 

THE GOVERNMENT SHOULD ALWAYS SET ASN EXAMPLE TO THE SOCIETY.  

PROFESSIONALISM AND EFFICIENCY SHOULD BE THE CORNERSTONES OF GOVERNMENT ADMINISTRATION.  MERITOCRACY AND TECHNOCRACY SHOULD BE PROMOTED AT ALL TIMES.  

CORRUPTION WILL NEVER BE  TOLERATED UNDER  MY ADMINISTRATION

අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කිරීමට වගකීම් රාශියක් අප සතුව තිබෙනවා. 

ගෝලීය නව ආර්ථික ප්‍රවණතාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා ඔවුන් දැනුමින් සන්නද්ධ කිරීමට හා  ඔවුන්ගේ කුසලතා වර්ධනයට උපකාර කිරීමට  අප ප්‍රමුකතාවක් දී  කටයුතු කරනවා. 

21 වන ශතවර්ශයේ අභියෝගයන්ට මුහුනදීමට අපේ ජනතාව සූදානම් කිරීම සඳහා රටේ සෑම ක්ෂේත්‍රයකම නව තාක්ෂණය භාවිතය පුලුල් කරනවා

 
අපගේ සමස්ථ ජීවන රටාව තුලම  ගුණගරුක බව , නීතිගරුක බව හා  විනයගරුක බව රකින  සමාජයක් ගොඩ නැගීම සඳහා ඔබ සියලුදෙනාගේම සහාය මම බලාපොරොත්තු වෙනවා. 


ජනාධිපතිවරයා වශයෙන් මගේ වගකීම වන්නේ රටේ සියලූම ජනතාව වෙනුවෙන් සේවය කිරීමටයි. 

ඒ අනුව මට චන්දය දුන් අය මෙන්ම නොදුන් සියලු දෙනාගේම පුරවැසි අයිතිවාසිකම් මම ආරක්ෂා කරනවා. 

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයට අනුකූලව ජනතා අපේක්ෂාවන්  ඉටුකරන්නට මම සැමවිටම කැපවෙනවා.  


අප ඉදිරියේ විශාල වගකීම් සම්භාරයක් තිබෙනවා. විශාල  වැඩ කොටසක් කෙටි කලක් තුල ඉටු  කරන්නට තිබෙනවා. 

උවමනාව තිබෙනවානම් අපට කරන්නට බැරි දෙයක් නැහැ, ජයග්‍රහණය කල නොහැකි අභියෝගයක් නැහැ.


රට ගොඩනැගීම් සඳහා අවශ්‍යකරන දැක්ම අප සතුව තිබෙනවා. 

ඒ සඳහා  සැලසුම්  ' සෞභාග්‍යයේ දැක්ම  ප්‍රතිපත්ති ප්‍රකාශණය' හරහා අපි  ඔබට ඉදිරිපත් කොට තිබෙනවා. 

මා මේ රටේ විධායක  ජනාධිපති ජනාධිපතිවරයායි. රටේ යහපත වෙනුවෙන්  මගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මම කිසි විටක පසුබට වන්නේ නැහැ.

ඒ  අනුව සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහ ජනතාව විසින් ලබා දී ඇති මෙම ඓතිහාසික ජනවරම  ක්‍රියාත්මක සඳහා මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කල හැකි නව රජයක් මා  පිහිටුවනවා.

මම මගේ රටට ආදරය කරනවා , මම මගේ රට ගැන ආඩම්බර වෙනවා, මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා

අනාගතපරපුර වෙනුවෙන්  සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැගීම සඳහා මා සමඟ  එක්වන මෙන්  සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා  ඉල්ලා සිටිනවා."