AKD කියන්නේ අලියා කෑව දිවුල-විමල්

 AKD කියන්නේ අලියා කෑව දිවුල-විමල්

September 16, 2019   10:45 pm

ජාතියක් ලෙස නැගී සිටීමට ලැබෙන අවසන් අවස්ථාව එළඹෙන ජනාධිපතිවරණය බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සියලු ජාතිවාදී අන්තවාදයන් පැරදවීමට, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට, රට එකම නීතියක් යටතට ගෙන ඒමට, බටහිර අධිරාජ්‍යවාදයේ ගොදුරක් බවට පත්වීම වැළැක්වීමට ලැබෙන අවසන් අවස්ථාව එළඹෙන ජනාධිපතිවරණය ලෙස සලකා සුදුසුම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට ජනතාව පෙළගැසිය යුතු බවත් ඒ ‘අන්තිම බස් රථය මිස් කර ගතහොත්’ අප ජාතියට ‘අනිච්ඡාවත සංඛාරා’ කීම හැර වෙනත් දෙයක් ඉතිරි නොවන බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (15) ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අධිනීතිඥ සිසිර ජයකොඩි මහතා සංවිධානය කර තිබූ ‘ගෝඨාභය ජය තහවුරු කරමු’ යන තේමාව යටතේ කැළණිය ප්‍රදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළේය.

“2015 ජනවාරි 08 වැනිදා ‘රාජපක්‍ෂ රෙජීමය’ ගෙදර යවලා මේ බටහිර බලවතුන් ‘රෙජීම් චේන්ජ්’ එකක් කළා. අද යූඑන්පියට ඉතා තදින් බැණ වැදුණාට එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරගැහුවේ ඒ ‘රෙජීම් චේන්ජ්’ එකටයි. මේ බටහිර බලවතුන්ට මාර්ග සිතියමක් තිබුණා. මහින්ද රාජපක්ෂ ගෙදර යවලා, බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ළඟට ගන්න, ඊට යටත් නොවන අපි වගේ කිහිපදෙනා හිරේ දමන්න. ඉන් පසු මහ මැතිවරණයකට ගිහිල්ලා යූඑන්පී. - ශ්‍රී ලනිප ශක්තිමත් ජාතික ආණ්ඩුවක් හදා ගන්න. රෙජීම් චේන්ජ් එකට කර ගහපු ජවිපෙට විපක්‍ෂ නායකකම ලබා දීම එහි තිබුණා. මේ ‘රෝඞ් මැප් එක’ තමයි ඔවුන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වුණේ. අපිට කල් තියාම මේ රෝඞ් මැප් එක තේරුම් ගැනීමට හැකි වුණා. ඒ විතරක් නොවෙයි ඊට රැහැනිව රට බේරාගන්නා වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමටත් අපට එදා හැකි වුණා.

මේ මාර්ග සිතියම හකුළවන්න නම් අපට එදා මුලින්ම මහින්ද රාජපක්‍ෂයන් දේශපාලනයෙන් විශ්‍රාම යැවීමේ වෑයම නතර කළ යුතුව තිබුණා. ‘රාජපක්‍ෂ චැප්ටර් එක ක්ලෝස් කිරීම’ නතර කළ යුතුව තිබුණා. එදා මහින්ද රාජපක්‍ෂයන්ට 58%ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණා. සිංහල බහුතරයකගේ කැමැත්ත ලැබී තිබුණේ මහින්ද රාජපක්‍ෂයන්ට. ඒ සිංහල බහුතරයේ කැමැත්තයි 2015 ජනවාරි 08 වැනිදා පරාජයට පත්වුණේ. ඒකයි සිංහල බහුතරය වෙසෙන ප්‍රදේශ ඒ පරාජයෙන් පසුව මළගෙයක් බවට පත්ව තිබුණේ. මහින්ද රාජපක්‍ෂයන්ගේ පරාජයෙන් හඬා වැටෙන මිනිසුන්ට ‘මහින්ද පරිච්ඡේදය’ යළි අරඹන්න පුළුවන් බව අපි දැක්කා. ඒ දැක්ම අනුව තමයි අපි දිනේෂ්, වාසු, ගම්මන්පිල මැතිතුමන්ලා සමඟ එක්ව 2015 පෙබරවාරි 18 වැනිදා ‘මහින්ද සුළඟ’ නිර්මාණය කළේ. සමහරුන්ට අද මේක මතක නැහැ, ඒ ගැන ඇහෙන එකත් මහ ඇනයක් බවට පත්වෙලා.

කුහකයන් පිරිසක් හිටියාට මහින්ද රාජපක්‍ෂයන් එසේ නොවෙයි. පසුගිය සැප්තැම්බර් 08 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති ජානිපෙ තුන්වැනි ජාතික මහා සමුළුවේදී එතුමා කීවා, ‘විශ්‍රාම ගිහින්, විශ්‍රාම සුවයෙන් ඉන්න හදපු මාව ආයෙත් දේශපාලනයට රැගෙන ආවේ විමල් මන්ත්‍රීතුමා ඇතුළු මේ පක්‍ෂ නායකයන් පිරිසය’ කියා. එතුමා එය පිළිගැනීමට කුහක වුණේ නැහැ. අපට සම්මාන අවශ්‍ය නැහැ. නමුත් එදා අපි ඒ කළ දෙය මතකයේ තිබිය යුතු දෙයක්. මහින්ද රාජපක්‍ෂයන් ගෙදර යැවීමේ සතුරාගේ උවමනාව අපි එදා ඒ විදියට පරාජයට පත් කළා. සතුරාගේ මාර්ග සිතියම හා බැඳුණු න්‍යාය පත්‍රය පළමුවෙන්ම අවුල් කළේ එතැනින්. ඒ සමඟම මෛත්‍රී සමඟ යාමට තීරණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝදෙනකු මහින්ද සමඟ නතර වුණා.

එදා මහින්දගේ ආගමනයත් සමඟ ජනතා ආවේගය තීව්‍ර වණා. රට පුරා මහා දැවැන්ත රැලි නිර්මාණය වුණා. 2015 මහ මැතිවරණය ජයගත හැකි කඳවුර මහින්ද කඳවුර බවට පත් වුණා. මැතිවරණය ආසන්නයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ‘පහත් වැඩක්’ නොකළා නම් අපට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට තිබුණා. 113 නැතත් හදා ගැනීමට හෝ තිබුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිදු කළ ‘පහත් ක්‍රියාව’ නිසා මන්ත්‍රී ධුර සංඛ්‍යාව 97කට අඩු වුණා. නමුත් බටහිර බලවතුන්ගේ න්‍යාය පත්‍රය අවුල් කිරීමට එය ප්‍රමාණවත් වුණා. ජවිපෙ විපක්‍ෂය කර ‘බටහිරගැති ශක්තිමත් ජාතික ආණ්ඩුවක්’ හදා ගැනීම අපි නතර කළා. ඒකාබද්ධ විපක්‍ෂය බිහි කර පාර්ලිමේන්තුව තුළ සැබෑ විපක්‍ෂය ලෙස කටයුතු කිරීමට පටන් ගත්තා. අපි ගෙවී ගිය වසර හතරහමාර තුළ මේ බටහිර මාර්ග සිතියම හකුළා දමමින් ඉදිරියට ආවා. ඒ තුළ රනිල්-මෛත්‍රී ගැටුම උග්‍ර වීමට පටන් ගත්තා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර අප සමග ‘දින 52 ආණ්ඩුව’ හදන තැනට ඒ ගැටුම අපි ‘සුසර’ කළා. ඒවා නිකම් වුණේ නැහැ.

දින 52 ආණ්ඩුව හදපු නිසා ජනතාවට හොඳින්ම අවබෝධ වුණා ජනතා විමුක්ති පෙරමුණ, රනිල් වික්‍රමසිංහට තියෙන ගැතිභාවය. රනිල්ට බලයේ ඉන්න තිබෙන උවමනාවටත් වඩා ලොකුයි, ජවිපෙට රනිල්ගේ තිබෙන උවමනාව. දැන් ජවිපෙ අලුත් බ්‍රෑන්ඞ් එකක් අරන් ඇවිල්ලා ‘AKD’ කියා. ‘AGD : අලියා ගිලපු දිවුල’ වුණා නම් මරු. ‘AKD : අලියා කෑව දිවුල’ වුවත් නියමෙට ගැලපෙන බ්‍රෑන්ඞ් එකක්. අලියා දිවුල ගිල්ලාට පස්සේ එළියට එන්නේ මොකද්ද? මැද හිස්ව තිබෙන කට්ට. කොහොම නමුත් අපි එදා රට හමුවේ පෙන්වා දුන්නා ‘ජවිපෙ කියන්නෙ තවදුරටත් ජනතාවාදී දේශපාලනය ව්‍යාපාරයක් නොවෙයි. රනිල් හාමු බේරාගැනීමේ මෙහෙයුමක නිරතව සිටින බටහිර කොන්ත්‍රාත්තුවක් ඉටු කරන දේශපාලන නඩයක් විතරයි"