පකිස්තාන සංචාරයෙදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව යළි තහවුරු කරන ලෙසට රජයෙන් දැනුම් දීමක්

පකිස්තාන සංචාරයෙදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව යළි තහවුරු කරන ලෙසට රජයෙන් දැනුම් දීමක්

September 11, 2019   09:50 pm

එළඹෙන පකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී තර්ජනයක් ඇතිවිය හැකි බවට මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා විශ්වාසදායක තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එම නිසා පකිස්තාන තරග සංචාරයට පෙර එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳ ‘නැවත තක්සේරුවක්’ සිදුකිරීමට සහාය ලබා දෙන ලෙස ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලීමක් කරයි.

එළඹෙන පකිස්තාන සංචාරයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත තර්ජනයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එවැනි ත්‍රස්ත තර්ජනයක් සම්බන්ධයෙන් මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලයට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

එම නිසා, එම සංචාරය ආරම්භ කිරීමට පෙර එරට ආරක්ෂාව පිළිබඳ යළි තක්සේරුවක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සැපයෙන ආරක්ෂාව පිළිබඳ ක්‍රීඩකයන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පසුගිය දා පැවැත් වුණි.

එහිදි ලසිත් මාලිංග,ඇන්ජලෝ මැතීව්ස්,දිමුත් කරුණාරත්න,දිනේෂ් චන්දිමාල්,තිසර පෙරේරා,කුසල් ජනිත් පෙරේරා,අකිල ධනංජය,සුරංග ලක්මාල්,ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට එක්වීම සඳහා අකමැත්ත පළ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙවන් පසුබිම ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන සංචාරයට එක්වන එක්දින සහ විස්සයි විස්ස සංචිත ද අද නම් කෙරුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදී එක්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිත අතර තරගාවලිය සැප්තැම්බර් මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

2009 වසරේදී ද පකිස්තානයේ සංචාරයක නිරතවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරට ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වුණි.

තිලාන් සමරවීර ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් එහිදී තුවාල ලැබුවේය.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයේ සංචාරයකට සූදානම් වන්නේ එම ප්‍රහාරයෙන් වසර දහයකට පසුවයි.