ටෝගෝලෙසී ජනපති ලංකාවට

ටෝගෝලෙසී ජනපති ලංකාවට

September 11, 2019   08:14 pm

ටෝගෝලෙසී (Togolese) ජනාධිපති ෆවුරේ එසෝම්නා එනාසිංබේ (Faure Essozimna Enassingbe ) මහතා ශ්‍රී ලංකාවේ  තුන් දින නිල සංචාරයක් සදහා අද (11) දිවයිනට පැමිණ ඇත.

එතුමා සමඟ දූත පිරිස ලෙස එරට උසස් රාජතාන්ත්‍රික නිලධාරීන් 35 දෙනෙකු ද පැමිණ සිටියහ.

මෙම පිරිස අද සවස 5.30 ට පමණ එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

එතුමා පිළිගැනීම සඳහා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.

මෙම ජනාධිපතිවරයා ගුවන් යානයෙන් බැසීමෙන් අනතුරුව රතු පලස මතින් කැදවා ගෙන පැමිණි අතර ,ගුවන් තොටුපළ ස්වර්ණ පුස්තකයෙහි විශේෂ සටහනක් තැබීමට ද එතුමාට අවස්ථාවක් ලබා දී තිබුණි. 

ඉන් පසුව මෙම ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා ගෙන එනු ලැබීය.

පසුව විශේෂ රිය පෙරහැරකින් මොවුන් කොළඹ බලා කැදවා ගෙන ගිය බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කර 13 දින ආපසු පිටත්ව යෑමට නියමිතය.