ත්‍රස්තවාදය වැළැක්වීමට ජනපතිගෙන් නව නීති

ත්‍රස්තවාදය වැළැක්වීමට ජනපතිගෙන් නව නීති

September 11, 2019   07:34 pm

ත්‍රස්තවාදය වැලැක්වීමට අවශ්‍ය නීති සංශෝධනය සහ නව නීති පැනවීම කඩිනම් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ. 

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්ය. 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකු මෙම කමිටු රැස්වීමකට සහභාගි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අවස්ථාවට එක්වුණි.

මෙහිදී ජනාධිතිවරයා පවසා ඇත්තේ, ජාතික ආරක්ෂාව පිළිබද ගත යුතු තීන්දු තීරණ කිසිසේත් ප්‍රමාද නොකළ යුතු බවයි. 

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගිවීම සම්බන්ධයෙන් තම අභිමතය පරිදි කටයුතු කිරීමට අවස්ථාව පවතින බව නීතිපතිවරයා තමන්ට දැන්වූ බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගත් තීන්දුවට පක්ෂව උතුරෙන් ද පුළුල් ජන හඬක් මතු වෙයි.

මෙම තීන්දුව පිළිබඳ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනතා මතය උරගා බැලීමක් පසුගියදා යාපනයේ දි පැවැත්වුණු එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන භූමියේ දී සිදු කෙරුණු අතර ඊට සහභාගී වූ 20,634ක් වූ ජනතාවගෙන් 94.89‍ක්ම ඡන්දය භාවිත කළේ ජනාධිපතිවරයාගේ මෙම තීන්දුවට පක්ෂවය. 

යාපනය දිස්ති‍්‍රක්කය පුරා පැතිරි ඇති නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් දරුවන් සහ කාන්තාවන් ඇතුළු සියලූදෙනා දැඩි පීඩාවකට ලක්ව ඇති අතර ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කර දැමීම වෙනුවෙන් කටයුතු කරන ලෙසයි.

ඒ පිළිබඳව කිසිදු නායකයෙකු නොගත් පියවර ගනිමින් දැඩි කැපවීමකින් කටයුතු කරන ජනාධිපතිවරයාගේ කාර්යභාරය මෙහිදී අගය කළ එම ජනතාව අවධාරණය කළේ තම දරුවන්ට ආදරය කරන සියලු පුරවැසියන් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට එරෙහිව ඉදිරියට පැමිණිය යුතු බවයි. 

මෙම වැඩසටහන පසුගියදා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර කි‍්‍රඩාංගණයේ පැවති එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන භූමියේදී ද කි‍්‍රයාත්මක වූ අතර, එහිදී එම ස්ථානය වෙත පැමිණි 27,168ක් වන ජනතාව අතරින් 94.77ක්ම සිය මතය ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය උවදුරෙන් ජාතිය සහ අනාගත පරපුර බේරා ගැනීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිමට ජනාධිපතිවරයා ගත් තීන්දුවට පක්ෂවය.