වීදි සටන් කරලා තැන් තැන්වල කියලා හරියන්නේ නෑ-ආශු මාරසිංහ

වීදි සටන් කරලා තැන් තැන්වල කියලා හරියන්නේ නෑ-ආශු මාරසිංහ

September 11, 2019   04:20 pm

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂයා නම්කළ යුත්තේ පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලයේ තීරණය මත බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.

අද(11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.

ඊයේ අගමැතිවරයා හා සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් ඊයේ දිනයේ දී පැවැත් වු බව දැන ගැනීමට ලැබුණු බවත් ,තව දුරටත් එම සාකච්ඡා පවතින බවද පැවසු මන්ත්‍රීවරයා අපට කිසිදු කලබලයක් නැතැයි ද පැවසීය.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ, අගමැතිවරයා ද ජනපති සටනට එන බවට පසුගිය දිනවල වාර්තා වු බවයි.

මෙයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, අගමැතිවරයා පසුගිය වසර 4 පුරා ඊළඟ ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වෙනවා යන කාරණය පක්ෂයේ අය සමඟ සාකච්ඡා කළ බවයි.

නිසැකවම එතුමා ඉදිරිපත් වෙන්නේ ද නැද්ද යන්න තිරණය වන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් බවත් පැවසු මන්ත්‍රීවරයා, එයින් ගන්නා තීරණය අනුව අගමැතිද, කරූද, සජිත් ද යන්න ගැන සාකච්ඡා කිරීමට හා ඉදිරි මැතිවරණය මෙහෙය වීමට සුදානම් බවද පැවසීය.

වීදි සටන් කිරීමෙන් හෝ තැනින් තැන කිය කිය යෑමෙන් මෙය හරියන්නේ නැති බව පැවසු මන්ත්‍රීවරයා, එය අවශ්‍ය වෙලාවට හරි අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත්, බිම් මට්ටමේ තිබෙන ආකර්ෂණය හොඳ බවත්, “දෙන්නේ නැද්ද නැද්ද කියලා හිතන් ඉන්න කොට දීපුවාහම නේ හොඳ “ යනුවෙන් ද මෙහිදී පැවසීය.