ලෝක කුසලාන රග්බි තරගාවලියට තව දින 9යි

ලෝක කුසලාන රග්බි තරගාවලියට තව දින 9යි

September 11, 2019   02:45 pm

ලෝක කුසලාන රග්බි තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තව දින 09ක් පමණයි.

රග්බි ලෝක කුසලාන ඉතිහාසය පිළිබඳවයි මේ අවධානය.

1987 වසරේදී පළමු වරට පැවති රග්බි ලෝක කුසලානය එතැන් පටන් සෑම සිව්වසරකට වරක්ම රග්බි ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණේ පසුවන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැත් වෙයි.

පළමු වරට පැවති රග්බි ලෝක කුසලානයට රටවල් 16ක් සහභාගී වූ අතර 1999 වසර වන විට ලෝක කුසලානයට සහභාගී වන රටවල් සංඛ්‍යාව 20ක් දක්වා වර්ධනය විය.

මෙවර පැවැත්වෙන්නේ 9 වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය වන අතර මෙතෙක් පැවති රග්බි ලෝක කුසලාන තරගාවලිවලදී නවසීලන්තය තුන්වතාවක් ශූරතාව හිමිකරගෙන ඇති අතර ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අවස්ථා දෙකකදී ශූරතාව දිනාගෙන තිබේ.

එංගලන්තය සිය මංගල රග්බි ලෝක කුසලාන ශූරතාව 2003 වසරේදී දිනා ගැනීමට සමත් විය.

වැඩිම වාර ගණනක් රග්බි ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායම ලෙස හඳුන්වෙන්නේ නවසීලන්ත කණ්ඩායමයි.

මෙවර රග්බි ලෝක කුසලානය ජපානයේදී පැවැත්වෙන අතර ආසියානු රටක රග්බි ලෝක කුසලානයක් පැවැත්වෙන්නේ පළමු වරට වීම විශේෂත්වයක්.

සැප්තැම්බර් 20 වැනිදා ආරම්භ වන රග්බි ලෝක කුසලානය නොවැම්බර් 02 වැනිදා දක්වා ක්‍රිඩාංගණ 12කදී පැවැත් වෙයි.

කාණ්ඩ 4ක් යටතේ මෙවර තරගාවලියට රටවල් 20ක් ක්‍රීඩා කරන අතර මෙම කාණ්ඩ 4න් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකි වන්නේ එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙකකට පමණයි.