මෙදාපාර එජාපයට බලය ගන්න බැරි වුණොත් පාක්ෂිකයෝ කිසිවෙක් ඉතිරි වෙන්නේ නෑ-වෙදආරච්චි

මෙදාපාර එජාපයට බලය ගන්න බැරි වුණොත් පාක්ෂිකයෝ කිසිවෙක් ඉතිරි වෙන්නේ නෑ-වෙදආරච්චි

September 11, 2019   02:37 pm

මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බලය ලබා ගැනීමට නොහැකි වුවහොත් කිසිදු පාක්ෂිකයෙකු පක්ෂය තුළ රැදී නොසිටින බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.

පක්ෂයේ කෘතියාධිකාරී මණ්ඩලයට හා පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයට තීරණයක් ගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා වී ඇතැයි පැවසු අමාත්‍යවරයා, ජයග්‍රහණය කළ හැකි නායකයෙක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා අද දවසේ හිමිව තිබෙන බවත් කියා සිටියේය.

යහපාලන ආණ්ඩුව පිහිටු වීමෙන් අනතුරුව ඔහු ඉස්මතු වු බවත් සඳහන් කර සිටි රාජ්‍ය අමාත්‍යවරයා, එතුමාව පූජනීය වස්තුවක් ලෙස ආරක්ෂා කර ගනිමින් රටට බාර දී ඇතැයි ද පැවසීය.

ඒ අනුව ජන වරමින් ජනාධිපතිවරයා ලෙස ඉදිරියේ දී ඔහු පත් වෙනු ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, පක්ෂයේ නායකවරයා එම අවස්ථාව ඔහුට ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද කියා සිටියේය.

මෙම අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂයට බලය ලබා ගැනීමට නොහැකි වුවහොත් පාක්ෂිකයෝ කිසිවෙකු පක්ෂය තුළ ඉතිරි වෙන්නේ නැති බවද දිලිප් වෙදආරච්චි මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.