මුදලට විකිණෙන බේසියාවැව ගම්වාසීන්ගේ පිපාසය

මුදලට විකිණෙන බේසියාවැව ගම්වාසීන්ගේ පිපාසය

September 11, 2019   01:20 pm

ජලය මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් වුවත් බීමට වතුර පොදක් හෝ නොමැතිව ළතැවෙන මිනිසුන් ද අප අතර සිටියි.

එවැනි පිරිසක් පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ මැදිරිගිරිය බේසියාවැව ගම්මානයෙන්.

මේ මැදිරිගිරිය බේසියාවැව ගම්මානයයි.

දහසකට අධික ගම්වැසියන් පිරිසක් මෙහි ජීවත් වෙයි

ඉන් බහුතරයකගේ  ප්‍රධාන ජීවනෝපාය වන්නේ වී ගොවිතැනයි.

වෙනත් කාලවලදී කුඹුරු යායන්ගෙන් සාරවත් වන ගම්මානයේ අද තත්ත්වයයි ඉතා දුක්බරයි.

පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන බේසියාවැව අද වන විට සම්පූර්ණයෙන්ම සිඳී ගොස් අවසන්.

මේ හේතුවෙන් ගම්මානයේ ළිං ද සිඳී ගොස් තිබේ.

අද වන විට පානය කිරීමට හා සතුන්ට පවා ජලය නොමැති තත්ත්වයක් ඇතිව තිබෙන බව ගම්වාසීන් පවසයි.

මෙම තත්ත්වය හමුවේ ගම්වාසින්ට සිදුව ඇත්තේ කිලෝමීටර් ගාණක් දුර ගෙවා ජලය සොයා ඒමටයි.

ඇතැමුන්ට ජලය මිලදී ගැනීමට පවා සිදුව තිබේ.

මෙහිදී අදහස් දක්වමින් එක් ගම්වැසියෙක් පවසා සිටියේ, ලොරිවලින් ජලය රැගෙන එන අතර එම ෆිල්ටර් වතුර ලීටරයක්, රුපියල් 1.50 ක් වෙන බවයි.

උදෑසන වතුර බුලි දෙකක් රැගෙන ආ බවත් පැවසු ඒ මහතා, එක් බුලියක් සඳහා රුපියල් 8 ක් වැය වු බවත් පැවසීය.

කිලෝමීටර 4ක පමණ දුරක් ජලය සොයා යා යුතු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

ගම්වාසින් බලධාරින්ගෙන් ඉල්ලන්නේ, ජලය නොමැතිවීම නිසා යල කන්නයේ කුඹුරු අක්කර 250ක් පමණ විනාශ වි ඇති පසුබිමක බිමට හෝ දිය පොදක් ලබා දෙන ලෙසයි.