ගෝඨාගේ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්න බහුතර විනිසුරු එකඟත්වය

ගෝඨාගේ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්න බහුතර විනිසුරු එකඟත්වය

September 11, 2019   01:00 pm

ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කළ අධි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර තිබූ පෙත්සමට අදාළ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කර ඇත්තේ එහි බහුතර එකඟතාවය මතයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ මෙම පෙත්සම සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලුණි.

මෙහිදී කරුණු දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළේ එම නඩුවට අදාළව විත්තිකරුවන්ට කුමන්ත්‍රණ චෝදනා දෙකක් එල්ල කර තිබීම දෝෂ සහිත බවයි.

එම චෝදනා අපැහැදිලි බව ද ඔහුඅධිකරණය හමුවේ කරුණු දැක්වූවේය.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පැවසුවේ නඩුවේ පළමුව ඉදිරිපත් කර ඇති කුමන්ත්‍රණ චෝදනාව විත්තිකරුවන් හත් දෙනාටම අදාළ බවත්,චෝදනාවට අදාළ වන කාලසීමාව චෝදනා පත්‍රයේ නිශ්චිතව දක්වා ඇති හෙයින් එහි කිසිදු අපහැදිලි තත්ත්වයක් එහි නොමැති බවයි.

කරුණු සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා ප්‍රකාශ කළේ විනිසුරු මඩුල්ලේ බහුතර එකඟතාව මත පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කරන බවයි.

පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවද සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

මේ අතර මෙම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ තවත් අභියාචනයක් ඔක්තෝබර් මස 01 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

එතෙක් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයේ සාක්ෂි විමසීම අත්හිටුවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.