බඹර ප්‍රහාරයකින් 11ක් රෝහලට

බඹර ප්‍රහාරයකින් 11ක් රෝහලට

September 11, 2019   12:22 pm

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(11) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 11 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලීසිය පැවසිය.

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ඇන්ෆිල්ඩ් තේ වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 10 දෙනෙකු සහ එක් වතු කම්කරුවෙකුයි මෙසේ රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

ඇන්ෆිල්ඩ් තේ වත්තේ යාන්ත්‍රානුසාරයෙන් තේ පණුවන් සඳහා කෘමිනාෂක දියර ඉසමින් සිටින අවස්තාවේ එරබඳු ගසක බැද තිබු බඹර කුඩුවක් එක් වරම ඇවිස්සි තමන්ට පහර දුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේය.

තේ වතු ආශ්‍රිතව තේ පදුරු සහ එ අවට තිබෙන ගස්වල මේ දිනවල විශාල වශයෙන් බඹරුන් කුඩු බැද ඇති අතර එම බඹර කුඩුවල බඹර වද තිබෙන නිසා සුළු ශබ්දයකදි පවා බඹරුන් ඇවිස්සි තේ වතු යායේ වැඩ කරමින් සිටින වතු කම්කරුවන්ට ප්‍රහාර එල්ල කිරිමේ ප්‍රවනතාවයක්ද පවතින බව පරිසරවේදීන් සඳහන් කළේය.

බඹර කුඩු විනාශ නොකර බඹර කුඩු ඉන් ඉවත්කිරිමට වතු පාලන අධිකාරිය විසින් නිසි වැඩපිළිවෙලක් දියත් කර යුතු බව පරිසර සංවිධාන කියා සිටියි.