ජීවිත පහක් බිලි ගත් සද්ධන්තගේ ජීවිතය රකින්න මෙහෙයුමක්

ජීවිත පහක් බිලි ගත් සද්ධන්තගේ ජීවිතය රකින්න මෙහෙයුමක්

September 11, 2019   10:48 am

පින්නවල අලි අනාථාගාරයේ බරපතළ ලෙස තුවාල වී සිටින අලියෙකුට පින්නවල පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.

මෙම වන අලියා 1979දී තිස්සමහාරමයේ සමන් දේවාලයට පරිත්‍යාග කර සිටි අලියෙකු වන අතර මෙම අලියා විසින් ඇත් ගොව්වන් 5 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත කර ඇති බව අප වාර්තාකරු පවසයි.

අවසාන වරට මෙම අලියා විසින් 2018.04.10 වෙනි දින ඇත් ගොව්වේකු ජීවිතක්ෂයට පත් කර ඇති බව වාර්තා වෙයි.

පසුව රත්නපුර ප්‍රදේශයේ සිට මෙම අලියා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් පින්නවල අලි අනාථාගාරය වෙත ගෙනැවිත් ඇති අතර එළෙස ගෙන එන විටත් මෙම අලියා බරපතළ ලෙස තුවාලවී සිටි බව පින්නවල අලි අනාථාගාරයේ බලධාරීන් පවසයි.

මෙම වන අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා පින්නවල පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් මේ වන විට මහත් වෙහෙසක් දරණ අතර මෙම වන අලියාට ප්‍රතිකාර කිරීම සඳහා දිනකට රුපියල් 100000ක් පමණ වැය වන බව වාර්තා වෙයි.

මෙලෙස තුවාල ලබා බරපලළ තත්ත්වයේ සිටින වන අලියා වයස අවුරුදු 55ක් පමණ අලියෙකු බව පින්නවල අලි අනාථාගාරයේ බලධාරීන් පවසයි.