රටේ කර්මාන්ත පුබුදුවන්න සජිත් සුදානම්

රටේ කර්මාන්ත පුබුදුවන්න සජිත් සුදානම්

September 11, 2019   10:34 am


උතුරු පළාතේ සෑම උප දිසාපති කොට්ඨාසයකම කර්මාන්ත පුර ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

යාපනය දිස්ත්‍රික්කයේ ඉදිකළ උදාගම්මානයක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රුපියල් ලක්ෂ 173 ක් වැයකොට යාපනය, වලිකාමම්, නැගෙනහිර - ඌරෙලු ප්‍රදේශයේ ඉදිකල පොක්කනෛ ග්‍රාමම් උදාගම්මානය ජනතා අයිතියට පත්කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදුකෙරුණි.

සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකළ 274 වන උදාගම්මානය මෙයයි. 

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඉදිරියේ දී උතුරු පළාතේ සෑම උප දිශාපති කාර්යාලයකටම කර්මාන්ත පුරවර සෑදීමට තමා සුදානම් වන බවයි.

එක් පළාතකට පමණක් සීමා නොකර, සෑම උප දිශාපති කොට්ඨාශයකම කර්මාන්ත ශාලා ඉදි කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් රැකී රක්ෂා ලබා දෙමින් රටේ කර්මාන්ත පුබුදුවා ලීමට තමා අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

කර්මාන්ත පුරවර තුළින් දළ දේශීය නිෂ්පාදනයට ඉදිරියේ දී වැඩි දායකත්වයක් ලබා දීමට උතුරු පළාතට ඉදිරියේ දී හැකියාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.