වැවේ ගිලී හමුදා සෙබළුන් බේරාගත් පවුල සුව අතට

වැවේ ගිලී හමුදා සෙබළුන් බේරාගත් පවුල සුව අතට

September 10, 2019   03:32 pm

කිලිනොච්චිය,පුනරීන්,අරසපුරකුලම් වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ වැවේ රොන් මඩ සහිත දිය වලක ගිලීමෙන් අනතුරට පත්ව සිටියදී කිලිනොච්චිය යුද හමුදා නිලධාරීන් බේරාගත් පවුල මේ වන විට සුවය ලබමින් සිටියි.

වැවේ රොන් මඩ සහිත දිය වලක ගිලීමෙන් ජිවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි පවුලක් බේරා ගැනීමට කිලිනොච්චිය ආරක්ෂක සේනාවන්ට අයත් පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු යුද හමුදා නිලධාරීන් පසුගිය සැප්තැම්බර් මස 07 වැනිදා දහවල් සමත් විය.

කිලිනොච්චිය,පුනරීන්, හතර කණුව ප්‍රදේශයේ පදිංචි ඩි.තෙරුනාල් ඇලෝසියස් නමැත්තා සිය බිරිඳ හා දරු තිදෙ‍නා සමඟ 07 වැනිදා දහවල් වැවේ දිය නෑමට ගොස් ඇති අවස්ථාවේ එලෙස වැව තුළ තිබු රොන්මඩ සහිත වළක එරෙමින් සිටියදී යුද හමුදා නිලධාරීන් අදාළ පවුලම දියේ ගිලෙමින් සිටියදී බේරා ගෙන තිබිණ.

වැවට බැසි දරුවෙකු රොන්මඩ සහිත වලෙහි පළමුවෙන් ගිලී ඇති අතර, එහිදි අදාළ දරුවා බේරා ගැනීමට ඇලෝසියස් මහතාගේ බිරිඳ හා තවත් දරුවෙකු වළට බැස ඇති අතර, එහිදි එම දෙදෙනාම මඩ වළෙහි එරී තිබිණ.

මඩ වල තුළ එරුණු සිය දරු දෙදෙනෙකු හා බිරිඳ බේරා ගැනීමට ඇලෝසියස් උත්සහ දරමින් සිටියදී ඇලෝසියස් මහතාගේ බාල දරුවා සිය පවුල බේරාදෙන ලෙසට කෑ ගසා ඇති අතර, දරුවාගේ කෑ ගැසීම් හඩ ඇසුණු පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු යුද හමුදා නිලධාරීන් වන ‍සෙ/වි 100258 ලාන්ස් කෝප්‍රල් ටි.ජි.ජේ.පි.ආරියරත්න, සෙ /වි 100232 ලාන්ස් කෝප්‍රල් ඩි.ජි.එස් අමරසිරි යන දෙදෙනා වැවට බැස අදාළ පවුල් දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩගෙන තිබිණ.

අදාළ පිරිස වැවෙන් ගොඩගත් අවස්ථාවේ සිහි නැතිවි ගොස් සිට ඇති අතර, එහිදි යුද හමුදා නිලධාරීන් ක්ෂණික ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව අදාළ පිරිස පුනරීන් රෝහල වෙත ඇතුළත් කොට තිබු බව කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථාන නිලධාරීන් පැවසීය.

අනතුරට ලක්වු පිරිස එහිදි වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහල වෙත යොමු කොට ඇති අතර, අදාළ පිරිස මේ වන විට යහපත් තත්ත්වයට හැරෙමින් පවතින බවද යුද හමුදා නිළධාරීන් පැවසූහ.

අනතුරින් ඇලෝසියස් ජයන්තිමාලා නමැති 44 හැවිරිදි කාන්තාවක්, අදාළ පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වු ඇලෝසියස් අම්බරාසා වු වයස අවුරුදු 14 දරුවෙකු හා පවුලේ දෙවැනි පිරිමි දරුවා වු ඇලෝසියස් අනුස්තන් නමැති 12 හැවිරිදි දරුවෙකු එලෙස දියේ ගිලෙමින් සිටියදී බේරාගෙන තිබිණ.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජි.වි.රවිප්රිගය මහතාගේ අධීක්ෂයෙන් මත,කිලිනොච්චිය යුද හමුදා 66 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර මහතාගේ මෙහෙයවීමෙන්, 661 බලසේනාධිපති කර්නල් මදුර වික්‍රමරත්න මහතාගේ හා පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අණදෙන නිලධාරි මේජර් ධනංජය වන්නිආරච්චි මහතාගේ උපදෙස් මත පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු නිලධාරීන් මුදාගැනීමේ මෙහෙයුම වෙනුවෙන් සහයෝගය ලබාදි තිබිණ.