මව්බිම රකින විශිෂ්ඨතමයෝ විසිර යයි

මව්බිම රකින විශිෂ්ඨතමයෝ විසිර යයි

September 10, 2019   03:12 pm

ශ්‍රී ලංකා යුද හමුදාව කියන්නේ ලෝකයේ තිබෙන හමුදා අතරින් විශිෂ්ඨ හමුදාවක්. 

එහි සාමාජිකත්වය ලැබූ සියලු දෙනාත් විශිෂ්ධයෝ වෙති. 

ශ්‍රී ලංකා යුද හමුදා වෟත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනා විධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ජේ.ආර්.කේ සේනාරත්න මහතා මෙම අදහස් පළ කර සිටියේ, කලාඔය යුධහමුදා වෟත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ පළමු කණ්ඩායම විසිරයාමේ උත්සව සභාව අමතමිනි.
  
පසුගිය සැප්තැම්බර් මස 8 වන දින පැවති මෙම අවස්ථාවට එක්වෙමින් බ්‍රිගේඩියර් මහතා පවසා සිටියේ, ලෝකයේ මරාගෙන ,මැරෙන ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කරන්න බැහැ යන මතවාදය පරාජය කළ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකා යුද හමුදාව මුහුණ දුන්නේ නිකම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදි සංවිධානයකට නෙමෙයි. ගොඩබිම සිට හා දියේ සිට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කල ත්‍රස්තවාදී සංවිධානයකටයි. 

වසර තිහක යුද්ධය පරාජය කරලා ජයග්‍රහණය ලැබුවම ලෝකය කතා කරන්න පටන් ගත්තා ලංකාවේ හමුදාව ගැන. ඔවුන් ප්‍රසිද්ධියේම කිව්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ඨ බව. 

අන්න එවැනි හමුදාවක සාමාජිකත්වය තමයි අද ඔබලා ලබා ගත්තේ.විශේෂයෙන්ම කියන්න ඕනෑ මේක රැකියාවකට වඩා සේවයක් කැපකිරීම කරන්න වෙයි. අපි ඒ සඳහා ඔබට මනා පුහුණුවක් ලබා දී තිබෙනවා.“

මාස හයක පුහුණුවකින් පසු  මෙහිදී විසිර ගිය ආධුනික සෙබළුන් ගණන අසු එකකි. 

මෙහිදී සෑම අතින්ම අතිසුර සෙබලා ලෙස එච්.එම්.ඩි.පි සමරකෝන් කුසලතා සම්මාන හිමි කරගන්නා  ලදී.

මිට අමතරව දක්ෂතම ඛන්ඩයට හිමි සම්මානය දෙවන ඛණ්ඩයට හිමි වූ අතර දක්ෂතම කණ්ඩ භාර නිලධාරියාට හිමි සම්මානය කපිතාන් ඩබ්ලිව් පි .විජේරත්න මහතාට ද , දක්ෂතම කණ්ඩ භාර සැරයන්ට හිමි සම්මානය සැරයන් කේ.ඒ.එම්.ප්‍රදීප් කුමාර මහතා ද , දක්ෂතම ශාරීරික අභ්‍යාස උපදේශක ලෙස කෝප්‍රල් පි.ජි .සම්පත් ද, දක්ෂතම පෙළ අණ දෙන්නා ලෙස ලාන්ස් කෝප්‍රල් ඊ.ඩි. ඉන්දික යන මහත්වරු ද සම්මාන හිමි කර ගන්නා ලදී.

මෙලෙස විසිර ගිය කණ්ඩායමේ දක්ෂතම වෙඩික්කරු ලෙස  ඩබ්ලිව්.ඒ.එච්.ඩි. විජේරත්න හා දක්ෂතම ශාරීරික යෝග්‍යතාවයට හිමි සම්මානය එච්.එම්.ඩි.පි සමරකෝන්ද හිමිකර ගන්නා ලදී.

විසිර යාමේ උත්සවයේ විශේෂත්වය වුයේ විසිර ගිය සෑම සෙබලෙකුටම රෝපණය කිරීම සඳහා පැළ දහයක් ලබා දීමයි.