සිලෝන් ටී නාමයට වින කළ පිරිසක් උකුසු ඇසට හසු වෙයි

සිලෝන් ටී නාමයට වින කළ පිරිසක් උකුසු ඇසට හසු වෙයි

August 25, 2019   07:18 pm

සීලෝන් ටී වසර ගණනාවක් තිස්සේ ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ, එහි ඇති ගුණාත්මකභාවය හේතුවෙන්.

එය අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා තේ නිෂ්පාදනයේදී කිසිදු රසායනික ද්‍රව්‍යයක් ඊට ඇතුළත් කරන්නේ නැත. 

එවන් පසුබිමක දැරණියගල දෙල්ඔළු ප්‍රදේශයේ තේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක තේ සඳහා මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය එකතු කරන බවට තොරතුරු අනාවරණ  විය.

මෙය නීතියේ රැහැනට හසුකර ගැනීමට වැඩබලන පොලිස්පති සී.ටී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායමක් ක්‍රියාත්මක වන්නේ, අද දෙරණ උකුස්සා සමගින්. 

දින ගණනක් පුරා ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසියේදී අපට අනාවරණ වූයේ සුදු පැහැති කැබ් රථයකින් තේ වලට මිශ්‍ර කරන රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවයි. 

එහිදී ක්‍රියාත්මක වූ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්   කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමත් සමග එහි තිබු රසායනික ද්‍රව්‍ය හමු විය.

රියැදුරාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූයේ පිටතදී සකසන රසායනික ද්‍රව්‍ය විටින් විට කර්මාන්ත ශාලාවට රැගෙනවිත් තේ සඳහා මිශ්‍රකරන බවයි. 

අදාළ රසායනික ද්‍රව්‍ය සොයාගැනීමට අපට හැකිවන්නේ, දෙහිඕවිට ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදීයි.

පසුව තේ නිෂ්පාදානාගාරය පරික්ෂා කළ නිලධාරීන්ට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර ඇති තේ කොළ තොගයක් ද සොයාගනු ලැබුවේය.

ඒ අනුව කැබ් රථයේ රියදුරු ඇතුළු නිලධාරීන් තිදෙනෙකු පොලිසීය අත්අඩංගුවට ගත් අතර පොලිස් භාරයට ගත් රසායනික ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 1500ක්.

අදාළ සොයාගැනීම්වලින් පසුව තේ මණ්ඩලය විසින් අදාළ සමාගමේ තේ කුඩු නිෂ්පාදනය තාවකාලිකව නැවැත්වීමට පියවර ගනු ලැබීය.

සිලෝන් ටී නාමයට හානි කරන නිෂ්පාදන තවදුරටත් අනාවරණ කිරීමට  අද දෙරණ උකුස්සා සූදානම්.