ශවේන්ද්‍ර අර්බුදයක් කරගත් ජාත්‍යන්තරය

ශවේන්ද්‍ර අර්බුදයක් කරගත් ජාත්‍යන්තරය

August 20, 2019   07:03 pm

ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් වන බවත් , ඊට ජාත්‍යන්තරයෙන් එල්ල වන චෝදනා පදනම් විරහිත බවත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

කෙසේවෙතත් ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත්කිරීම අතිශයින් අර්බුදකාරී තත්වයකට මගපාදනු ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව පත්කරනු ලැබුවේ ඊයේ(19) දිනයේදීයි.

කෙසේවෙතත් එම  පත්කිරීම දෙමළ ජනතාවට සිදු කළ නිග්‍රහයක් ලෙසින් හඳුන්වන බව පවසමින් දෙමළ ජාතික සන්ධානය සිය විරෝධය පළ කළ අතර කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් තම අප්‍රසාදය පළ කර තිබුණි.

මෙවන් පසුබිමක සත්‍ය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියද , නව යුද හමුදාපති ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ ශවේන්ද්‍ර සිල්වා මහතා යුදහමුදාපති ධුරයට පත්කිරීමේ තීරණය , ඔහුට එල්ල වී ඇති යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ පිළිබඳ චෝදනා සැලකිල්ලට ගෙන බලන විට රටේ කවර හෝ සංහිඳියා ක්‍රියාවලියක අවසානය සලකුණු කෙරෙන පියවරක් වන බවයි.

එබැවින් මිත්‍ර පාක්ෂිකයන් දැන් ඒ සම්බන්ධයෙන් මූලධාර්මික පියවරක් ගනු ඇතැයිද , නිල රාජකාරියක් සඳහා හෝ ශවේන්ද්‍ර සිල්වාට විදේශගතවීමට වීසා බලපත් ලබා නොදෙනු ඇතැයිද තමන් අපේක්ෂා කරන බව සත්‍ය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා මහත්මිය එම නිවේදනයෙන් පවසයි..

යස්මින් සූකා යනු  ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ දරුස්මාන් වාර්තාව සකස්කිරීමටද දායක වී කටයුතු කළ තිදෙනාගෙන් එක් අයෙක්.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මියද  නිවේදනයක් නිකුත් කරමින් නව හමුදාපති පත්කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ.

ඇය සිය නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත්තේ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත්කිරීම අතිශයින් අර්බුදකාරී තත්වයකට මඟ පාදනු ඇති බවයි.

එසේම එම පත්කිරීම 'මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට අදාළව සාධාරණත්වය සහ වගවීමේ ක්‍රියාවලිය සඳහා ශ්‍රි ලංකාවේ පවතින කැපවීම' දුර්මුඛ කෙරෙන සිදුවීමක් බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.

ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුදහමුදාපති ධුරයට පත්කිරීම සහ ඊට එරෙහිව එල්ල වන විවේචන පිළිබඳව අද පාර්ශ්ව කිහිපයක්ම අදහස් පළ කළේය.

කෙසේවෙතත් අද නිවේදනයක් නිකුත් කළ මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් වන බවයි.

විදෙස් පාර්ශ්ව මෙරට රාජ්‍ය සේවයේ උසස්වීම් හා අභ්‍යන්තර පරිපාලන ක්‍රියාවලියට බලපෑම් කිරීම පිළිගත නොහැකි ක්‍රියාවක් බවත්  , චෝදනා මත පදනම්ව මෙවන් සැලකිල්ලක් දැක්වීම ස්වභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි ක්‍රියාවක් බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙයි.