දිස්ත්‍රික්ක 3කට නායයෑම් අනතුරු අඟවයි

දිස්ත්‍රික්ක 3කට නායයෑම් අනතුරු අඟවයි

August 13, 2019   07:04 pm

නුවරඑළිය,රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක තුනට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අනතුරු ඇගවීම් නිකුත්කර තිබේ.

උද්ගතව ඇති වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ කැලණි, ගිං සහ කළු යන ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින් එම ගංගා දෙපස පහත් බිම් වල ජනතාව අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

නිරිතදිග මෝසම සක්‍රීයවීමත් සමග දිවයිනේ ප්‍රදේශ රැසකට මේවන විට පවතින්නේ වැසි සහිත කාලගුණික තත්ත්වයකි.

ගතවූ පැය කිහිපයක තුළ පහත්බිම් ජලයෙන් යටවීම් , නායයාම් ඇතුළු සිද්ධී කිහිපයක් ප්‍රදේශ කිහිපයකින් වාර්තාවූණි. 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම සබරගමුව පළාත් වලටත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට ඉදිරි පැය කිහිපයේදී මිලි මීටර් 150ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි. 

මේ අතර වැසි තත්ත්වය සමග  කැලණි ගඟ දැරණියගලින්, කළු ගඟ රත්නපුරයෙන් සහ ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් විමසිලිමත් වියයුතු ජල මට්ටම දක්වා පැමිණ ඇති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 

එබැවින් පහත් බිම් ආශ්‍රිත ජනතාව විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය දිස්ත්‍රික්ක තුනක් සදහා නාය යාම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබේ. 

ඒ අනුව නුවරඑළිය රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලට හෙට පස්වරු1දක්වා මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.